Skip to content

එක්තැන් වුණත් නොසැලී හිටියා

එක්තැන් වුණත් නොසැලී හිටියා

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වන වර්ජිනියාට දරුණු අංශභාග රෝගයක් හැදුණා. ඒකෙන් එයාගේ මුළු ඇඟම පණ නැති වුණා. හැබැයි එයාට කන් ඇහෙනවා. ඒ වගේම ඇස් ඇරලා බලන්න, ඇස් වහන්න එයාට පුළුවන්. ඔළුවත් යාන්තම් හොලවන්න පුළුවන්. ඒ වුණාට එයාට කතා කරන්නවත් කෑම කන්නවත් බැහැ. කාලෙකට කලින් එයා හොඳට දුවලා පැනලා දේවල් කරපු කෙනෙක්. හැබැයි 1997දී, එක දවසක් උදේ එයාගේ ඔළුව පිටිපස්සේ තද කැක්කුමක් ආවා. එයාගේ මහත්තයා එයාව ඉස්පිරිතාලෙට අරගෙන ගියත් එදා හවසම එයා කෝමා තත්වෙකට පත් වුණා. සති දෙකකට පස්සේ සිහිය එනකොට එයා හිටියේ දැඩි සත්කාර ඒකකයේ. ඒ වෙද්දිත් අංශභාග තත්වයට පත් වෙලා හිටපු වර්ජනියා හුස්ම ගත්තේ ශ්වසන යන්ත්‍රයක උදව්වෙන්. දවස් කිහිපයක් යන කල් වර්ජිනියාගේ මතකය සම්පූර්ණයෙන්ම නැති වෙලයි තිබුණේ. අඩුම තරමේ එයා කවුද කියලවත් එයාට මතක තිබුණේ නැහැ.

ඊළඟට වුණු දේ ගැන වර්ජිනියා මෙහෙම කියනවා. “ටිකෙන් ටික මට හැම දෙයක්ම මතක් වුණා. මං යෙහෝවා දෙවියන්ට හුඟක් උනන්දුවෙන් දිගටම යාච්ඤා කළා. මට මොනවා හරි වුණොත් මගේ පුංචි පුතාට අම්මෙක් නැති වෙලා එයා තනි වෙයි කියන එක තමයි මට තිබුණු ලොකුම බය. ඒ නිසා මං මගේ හිත ශක්තිමත් කරගන්න, පුළුවන් තරම් බයිබල් පද මතක තියාගන්න උත්සාහ කළා.

“කාලයත් එක්කම මගේ තත්වය ටිකක් විතර හොඳ අතට හැරුණු නිසා දොස්තරලා මාව දැඩි සත්කාර ඒකකයෙන් එළියට ගත්තා. මාස 6ක් විතර යන කල්ම එක එක ඉස්පිරිතාලවලයි, පුනරුත්ථාපන මධ්‍යස්ථානයකයි හිටියාට පස්සේ මාව ගෙදර එක්කගෙන ආවා. ඒත් ඒ වෙද්දිත් මගේ මුළු ඇඟම පණ නැතුව තිබුණ නිසා හැම දෙයක්ම කරන්න මට අනිත් අයගේ උදව් ඕනෙ වුණා. මං හිටියේ ගොඩක් කලකිරිලා. මට දැනුණේ දෙවියන්ටවත් අනිත් අයටවත් මගෙන් කිසි වැඩක් නෑ කියලා. ඒ වගේම පුතාව හරියට බලාගන්න මට පුළුවන් වෙයිද කියලත් මං නිතරම හිතුවා.

“මං වගේ බරපතළ අසනීපවලට මුහුණ දුන්න සහෝදර සහෝදරියන්ගේ අද්දැකීම් මං කියවන්න පටන්ගත්තා. ඒ වගේ තත්වයක හිටියත් එයාලට යෙහෝවා දෙවියන් වෙනුවෙන් කරන්න පුළුවන් වුණු දේවල් දැකලා මං පුදුම වුණා. ඒකෙන් පස්සේ මගේ ලෙඩේ ගැනම හිතහිතා ළත වෙවී ඉන්නේ නැතුව මට දැන් කරන්න පුළුවන් මොනවාද කියලා මං හිතුවා. අසනීප වෙන්න කලින් මට නමස්කාරේ දේවල් කරන්න ඒ තරම් වෙලාව තිබුණේ නෑ. ඒත් දැන් මට හැම දවසකම ඒකට ඕනෙ තරම් වෙලාව තියෙනවා. ඒ නිසා හැම දේම අත්හැරලා දාන්නේ නැතුව යෙහෝවා දෙවියන්ට කරන නමස්කාරයට මුල් තැන දෙන්න මං හිතාගත්තා.

“මං කොම්පියුටර් එකක් පාවිච්චි කරන්න ඉගෙනගත්තා. මගේ ඔළුව එහෙට මෙහෙට හොලවලා අකුරු ටයිප් කරන්න පුළුවන් පහසුකමක් එකේ තියෙනවා. ඒත් වෙලාවකට ඒක එපා වෙනවා. හැබැයි ඒක නිසා තමයි මට බයිබලය අධ්‍යයනය කරන්න, ලියුම්වලින් නැත්නම් ඊ-මේල්වලින් අනිත් අයට මගේ බලාපොරොත්තුව ගැන කියන්න පුළුවන් වෙලා තියෙන්නේ. අනිත් අයත් එක්ක කතා කරන්න මං අකුරු තියෙන බෝඩ් එකක් පාවිච්චි කරනවා. එයාලා මට ඒකේ තියෙන අකුර අකුර පෙන්නනවා. එයාලා වැරදි අකුරක් පෙන්නුවොත් මං ඇස් දෙක ලොකු කරනවා. හරි අකුරක් පෙන්නුවාම මං ඇස් දෙක වහනවා. ඒ විදිහට තමයි මං කියන්න හදන දේ එයාලා තේරුම්ගන්නේ. අපේ සමහර සහෝදරියෝ මේ වැඩේ කාලයක් තිස්සේ කරලා තියෙන නිසා මං කියන්න හදන්නේ මේක වෙන්න ඇති කියලා එයාලම හිතනවා. හැබැයි හිතපු වචනේ වැරදුණාම කට්ටියටම හිනා යනවා.

අකුරු තියෙන බෝඩ් එකකින් කියන්න ඕනෙ දේ පෙන්නනවා

“සභාවේ අයත් එක්ක එකතු වෙලා දේවල් කරන්න මං හරි ආසයි. වීඩියෝ කොන්ෆරන්සින් හරහා මං හැම රැස්වීමකටම සම්බන්ධ වෙනවා. රැස්වීමේ කොටස්වලදී මං දෙන්න ඉන්න උත්තර මං කලින්ම ටයිප් කරලා තියනවා. එතකොට සහෝදරයෝ රැස්වීමේදී මං වෙනුවෙන් ඒවා කියනවා. ඒ වගේම අපේ කණ්ඩායමේ අයත් එක්ක එකතු වෙලා හැම මාසෙකම ‘JW බ්‍රෝඩ්කාස්ටිං’ වැඩසටහනත් * මං බලනවා.

“මට මේ දරුණු ලෙඩේ හැදිලා දැන් අවුරුදු 23ක් වෙනවා. සමහර දවස්වලට මට හුඟක් දුක හිතෙනවා. හැබැයි යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන එක, සහෝදර සහෝදරියන්ව ආශ්‍රය කරන එක, වැඩිපුර සේවය කරන එක ඒ දුක දරාගන්න මට උදව් වෙනවා. අපේ සභාවේ සහෝදර සහෝදරියන් මට හුඟක් උදව් කරන නිසා අවුරුදු 6ක් තිස්සේ සහායක පුරෝගාමි සේවය කරන්නත් මට පුළුවන් වෙලා තියෙනවා. මං හැම තිස්සේම මගේ පුතා ඇලෙස්සැන්ඩ්‍රෝට හොඳ ආදර්ශයක් වෙන්න උත්සාහ කළා. එයා දැන් වැඩිමහල්ලෙක්. ඒ වගේම එයයි, එයාගේ නෝනායි ස්ථාවර පුරෝගාමි සේවයත් කරනවා.

“හුඟක් වෙලාවට මං පාරාදීසෙදි කරන්න යන දේවල් ගැන හිතනවා. මට ඉස්සෙල්ලාම කරන්න ඕනෙ දේ තමයි මගේම කටහඬින් යෙහෝවා දෙවියන් ගැන අනිත් අයට කියන එක. ඒ වගේම පිටිසර පැත්තකට ගිහිල්ලා ගඟක් අයිනේ ඉඳගෙන වටපිටාවේ ලස්සන බලන්නත් මං හරි ආසයි. මට කන්න බැරි නිසා පහුගිය අවුරුදු 20 පුරාම මට කෑම දුන්නේ බටයකින්. ඒ නිසා ගහකින් ඇපල් ගෙඩියක් කඩාගෙන කන්න මං ඉන්නේ හරිම ආසාවෙන්. ඒ වගේම මං ඉතාලි ජාතිකයෙක් නිසා පිට්සා වගේ මං කැමතිම ඉතාලි කෑම වර්ග හදලා කන්න මං ආසාවෙන් බලන් ඉන්නවා.

“දෙවියන් දීලා තියෙන ‘ගැලවීම ගැන බලාපොරොත්තුව’ මගේ හිත ආරක්ෂා කරගන්න මට හුඟක් උදව් වෙලා තියෙනවා. (1 තෙසලෝනික 5:8) දැන් මගේ අත පය වාරු නැති වුණත් ළඟදීම මේ හැම දෙයක්ම වෙනස් වෙනවා කියලා මං දන්නවා. ඒ කාලේ ගැන හිතෙන් මවාගන්න එක දැන් සතුටින් ඉන්න මට හුඟක් උදව් වෙනවා. දෙවියන්ගේ රාජ්‍යය මේ පොළොව පාලනය කරද්දී යෙහෝවා දෙවියන් අපිට දෙන්න යන ‘සැබෑ ජීවිතය’ ලැබෙන කල් මට ඉවසිල්ලක් නෑ.”—1 තිමෝති 6:19; මතෙව් 6:9, 10.

^ 6 ඡේ. ‘JW බ්‍රෝඩ්කාස්ටිං’ බලන්න ලින්ක් එකක් jw.org වෙබ් අඩවියේ තියෙනවා.