Skip to content

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් | එලියා

අවසානය දක්වා විඳදරාගත්ත කෙනෙක්

අවසානය දක්වා විඳදරාගත්ත කෙනෙක්

වියපත් අනාගතවක්තෘවරයෙක් ගනකමට වැඩුණු තමන්ගේ රැවුළ අතගාමින් කල්පනාවක ගිලිලා ඉන්නවා හිතින් මවාගන්න පුළුවන්ද? දශක ගාණක් පුරාවට විහිදී යන කාල සීමාව තුළ වින්ද හිරිහැර, කරදර මේ වෙලාවේ එයාගේ මනසට නැඟෙනවා. කවුද මේ අනගතවක්තෘවරයා? ඒ වෙන කවුරුත් නෙමෙයි එලියා. ඒත් ඇයි එයා ලොකු කල්පනාවකට වැටිලා ඉන්නේ? ඒ, දුෂ්ට ආහබ් රජගේ මරණය ගැන ආරංචි වුණ නිසයි. දශක ගණනාවක් පුරා ආහබ් රජ සහ එයාගේ බිරිඳ යෙසබෙල් රැජිණ එලියාට පුළුවන් තරම් අකටයුතුකම් කළා. එයාලා එලියාට තර්ජනය කළා. එයාව අල්ලගන්න හැදුවා. ඒ විතරක් නෙමෙයි එයාලා එලියාව මරලා දාන්නත් සැලසුම් කළා. ඒ හැම දේම එලියා විඳදරාගත්තා. යෙසබෙල් රැජිණ යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරුන්ව මරලා දාන්න තීරණයක් ගත්ත වෙලාවේ ආහබ් රජ ඒකට විරුද්ධ වුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි දේපලවලට තිබුණ තණ්හාව ඉහවහා ගිය ආහබ් සහ යෙසබෙල්, කපටි විදිහට කුමන්ත්‍රණය කරලා ධර්මිෂ්ඨ මිනිසෙක් වුණ නාබොත්වයි එයාගේ පුතාලාවයි අමානුෂික විදිහට මරලා දැම්මා. එයාලා කරපු ඒ දුෂ්ටකමට යෙහෝවා දෙවි දුන්න විනිශ්චය ගැන එලියා ආහබ්ට කිව්වා. දෙවි කිව්වේ ආහබ් සහ එයාගේ ගෙයි වැසියන් පිළිකුල්සහගත මරණයක් අද්දකිනවා කියලයි. දෙවි කිව්ව විදිහටම ආහබ් මිය ගියා.—1 රාජාවලිය 18:4; 21:1-26; 22:37, 38; 2 රාජාවලිය 9:26.

ආහබ් රජ ජීවතුන් අතර නැති වුණත් තවත් දුෂ්ටකම් විඳදරාගන්න වෙයි කියලා නම් එලියාට අනිවාර්යයෙන්ම හිතෙන්න ඇති. මොකද ඒ වෙද්දී යෙසබෙල් තමන්ගේ පවුලේ අයටත් ඊශ්‍රායෙල් ජාතියටත් අයහපත් බලපෑමක් ඇති කරමින් හිටියා. කාලය ගත වෙලා යද්දී එලියා තවත් හුඟක් අභියෝගවලට මුහුණ දෙනවා. ඒ අතරෙම තමන්ගේ සහයකයා වුණ එලිෂාට හුඟක් දේවල් කියලා දෙන්නත් එලියාට තියෙනවා. දැන් අපි එලියා අන්තිමට කරපු පැවරුම් 3කට අවධානය දෙමු. දුෂ්කරතා විඳදරාගන්න යෙහෝවා දෙවි ගැන තියෙන විශ්වාසය එලියාට උදව් වුණේ කොහොමද කියලත් මේ දුෂ්කර කාලයේදී අපේ විශ්වාසය තව ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද කියලත් අපි බලමු.

අහසියා රජට නියමිත විනිශ්චය ලබා දුන්නා

මේ ආහබ්ගේ සහ යෙසබෙල්ගේ පුතා වුණ අහසියා රජ ඊශ්‍රායෙල් දේශය පාලනය කරපු කාලයයි. තමන්ගේ දෙමාපියන් කරපු මෝඩකම්වලින් පාඩමක් ඉගෙනගෙන හරි දේ කරනවා වෙනුවට එයා ගියෙත් දෙමාපියන්ගේ අඩිපාරේමයි. (1 රාජාවලිය 22:52) එයා නමස්කාර කළේ ආහබ් සහ යෙසබෙල් නමස්කාර කරපු බාල් දෙවියාට. බාල් නමස්කාරය හරිම පිළිකුල් චාරිත්‍ර වාරිත්‍රවලින් පිරුණ ආගමක්. දේවාලවල අනාචාරයේ යෙදෙන එක සහ දරුවන්ව පූජා කරන එක ඒ ආගමේ වත්පිළිවෙත්වලට ඇතුළත් වුණා. තමන්ගේ දුෂ්ට ජීවිත රටාව වෙනස් කරගෙන තමන්ගේ සෙනඟවත් හරි පාරට යොමු කරන්න අහසියාට මොකක් හරි දෙයක් උදව් වුණාද?

දවසක් අහසියා රජ තමන්ගේ මාලිගාවේ උඩුමහල් කාමරයේ කවුළුවෙන් බිමට වැටුණා. එයාට හුඟක් අමාරු වුණා. එයා හිටියේ ජීවිතයත් මරණයත් අතර සටනක වුණත් එයා යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පැතුවේ නැහැ. ඒ වෙනුවට එයා කළේ තමන් සුව වෙනවද නැද්ද කියලා දැනගන්න එක්‍රොන් නගරයේ දෙවියන් වන බාල්-සේබුබ් ළඟට සේවකයන්ව යවන එකයි. ඒ නගරය දෙවිගේ සෙනඟට හතුරුකම් කරපු පිලිස්තිවරුන්ගේ නගරයක්. ඒ නිසා යෙහෝවා දෙවි ඒ ගැන කොහෙත්ම සතුටු වුණේ නැහැ. රජුගේ සේවකයන්ව මඟදී හම්බ වෙලා එයාලා අතේ රජුට විනිශ්චය පණිවිඩයක් යවන්න කියලා දෙවි දේවදූතයෙක් මාර්ගයෙන් එලියාට දැනුම් දුන්නා. සේවකයන් ආපහු රජමාලිගාවට හැරිලා ගිහිල්ලා ඒ පණිවිඩය රජුට කිව්වා. ඊශ්‍රායෙලයේ දෙවි කෙනෙක් නැති ගාණට වැඩ කරලා අහසියා කරගත්තේ ලොකු පාපයක්. අහසියා කවදාවත් සුවය ලබන්නේ නැහැ කියලා යෙහෝවා දෙවි තීරණය කළා.—2 රාජාවලිය 1:2-4.

අහසියා රජ තමන්ගේ වැරදි ගැන පසුතැවුණාද? නැහැ. එයා සේවකයන්ගෙන් මෙහෙම ඇහුවා. “ඔබව හමු වී මේ දේවල් කියූ මිනිසාගේ හැඩරුව කොයි වගේද?” අනාගතවක්තෘවරයා ඇඳගෙන හිටපු සාමාන්‍යය ඇඳුම්පැළඳුම් ගැන සේවයකන් කිව්වාට ප්සසේ එකපාරටම ‘ඒ එලියා’ කියලා රජ කිව්වා. (2 රාජාවලිය 1:7, 8) එලියාගේ ඇඳුම්පැළඳුම් ගැන සේවකයන් කියපු දෙයින් මොකක්ද පැහැදිලි වෙන්නේ? එලියා සරල ජීවිතයක් ගත කරපු, දෙවිට කරන සේවයට ජීවිතේ මුල් තැන දුන්න කෙනෙක්. ඒකයි එයා ඇඳගෙන හිටපු විදිහ කියපු ගමන්ම ඒ කවුද කියලා කෙනෙක්ට හිතාගන්න පුළුවන් වුණේ. එත් වස්තුවට කෑදර අහසියා රජවත් එයාගේ දෙමාපියන්වත් ඒ වගේ අය වෙන්න ඇති කියලා අපිට කොහොමටවත් හිතන්න බැහැ. යේසුස් අපිට උනන්දු කරලා තියෙන විදිහට සරල ජීවිතයක් ගත කරන්නත් වැදගත් දේවලට විතරක් අපේ අවධානය යොමු කරන්නත් එලියාගේ ආදර්ශය අපිට උදව් වෙනවා.—මතෙව් 6:22-24.

අපි ආයෙත් අහසියා රජුගේ සිද්ධියට යමු. සිද්ධ වුණ දේ නිසා එලියාගෙන් පලිගන්න හිතපු අහසියා යුධ භටයන් 50දෙනෙක් සහ එයාලාගේ නායකයාව යවනවා එලියාව අත්අඩංගුවට ගන්න. එලියා “කන්දක් මුදුනේ” * වාඩි වෙලා ඉන්නවා එයාලා දකිනවා. ඒ වෙලාවේ භට සේනාවේ නාකයා කිසිම ගරු සරුවක් නැතුව එලියාට මෙහෙම කියනවා. ‘රජතුමා ඔබට කන්දෙන් බැස එන්න කියලා කියනවා.’ හුඟක් දුරට එයාලා එලියාව එක්කගෙන යන්න හැදුවේ මරන්න වෙන්න පුළුවන්. එයාලා දැනගෙන හිටියා එලියා කියන්නේ “සැබෑ දෙවිගේ අනාගතවක්තෘවරයෙක්” කියලා. ඒත් එයාව බයගන්වන එක, එයාට තර්ජනය කරන එක වරදක් විදිහට එයාලා දැක්කේ නැහැ. ඒක කොච්චර ලොකු මෝඩකමක්ද! ඒ වෙලාවේ එලියා භට පිරිසේ නායකයාට මෙහෙම කියනවා. “මම ඇත්තටම දෙවිගේ අනාගතවක්තෘවරයෙක් නම් අහසෙන් ගින්නක් ඇවිත් ඔබවයි ඔබේ කණ්ඩායමේ සිටින පනස්දෙනාවයි දවා දැමිය යුතුයි.” ඒ වෙලාවෙම යෙහෝවා දෙවි අවශ්‍ය පියවර ගත්තා. “අහසෙන් ගින්නක් ඇවිත් ඔහුවත් ඔහුගේ කණ්ඩායමේ සිටි පනස්දෙනාවත් දවා දැමුවා.” (2 රාජාවලිය 1:9, 10) දෙවිගේ සෙනඟට හිරිහැර කරන, අගෞරව කරන අයට යෙහෝවා දෙවි දඬුවම් කරනවා කියන්න එක හොඳ උදාහරණයක්.—1 ලේකම් 16:21, 22.

අහසියා ආයෙත් යුධ භටයන් 50දෙනෙක් සහ එයාලාගේ නායකයාව එලියාව හම්බ වෙන්න යවනවා. ඒ නායකයා කලින් ආපු භට පිරිසේ නායකයාටත් වඩා අඥාන කෙනෙක්. තමන්ට කලින් ආපු පිරිස පිච්චුණු අළු, කන්ද පාමුල තියෙනවා එයා දකින්න ඇති. ඒ වුණත් එයා පාඩමක් ඉගෙනගත්තේ නැහැ. ඒ විතරක් නෙමෙයි කලින් ආපු නායකයා එලියාට කිව්වේ “කන්දෙන් බැස එන්න” කියලා. ඒත් මේ නායකයා කියන්නේ “ඉක්මනින් කන්දෙන් බැස එන්න” කියලා. මොකක්ද ප්‍රතිඵලය කියලා හිතාගන්න පුළුවන්ද? කලින් ආපු භට පිරිසට වුණ දේමයි එයාලටත් වුණේ. ඒ වෙලාවේ අහසියා රජ කටයුතු කළේ මේ නායකයන් දෙන්නාටම වඩා අඥාන විදිහටයි. එයා තුන්වෙනි වතාවටත් භට පිරිසක්ව සහ එයාලාගේ නායකයාව යවනවා එලියාව අල්ලාගෙන එන්න. ඒත් මේ තුන්වෙනි කණ්ඩායමේ නායකයා ඥානවන්ත විදිහට වැඩ කළා. එයා එලියා ළඟට ගිහින් දණින් වැටිලා එයාලාගේ ජීවිත විනාශ කරන්න එපා කියලා ඉල්ලා සිටියා. එලියා යෙහෝවා දෙවිව අනුකරණය කරපු කෙනෙක් නිසා මේ අවස්ථාවෙදී භට පිරිසටයි එයාලාගේ නායකයාටයි අනුකම්පා කළා. ඒ භටයන් එක්ක යන්න කියලා දෙවි දේවදූතයෙක් මාර්ගයෙන් එලියාට කිව්වා. දෙවිගේ මඟ පෙන්වීමට කීකරු වුණ එලියා රජ ළඟට ගිහින් දෙවිගේ විනිශ්චය පණිවිඩය රජට කිව්වා. දෙවි කියපු විදිහටම අහසියා රජ මිය ගියා. ඔහු රජකම් කළේ අවුරුදු 2ක් විතරයි.—2 රාජාවලිය 1:11-17.

නිහතමානීව හැසිරුණ නායකයාට එලියා යෙහෝවා දෙවි වගේ අනුකම්පාව පෙන්නුවා

මිනිසුන් හිතුවක්කාර විදිහට දෙවිට විරුද්ධව වැඩ කරද්දී එලියා ඒ දේවල් විඳදරාගත්තේ කොහොමද? අද අපි ඉන්නෙත් එදා එලියා හිටියා වගේ තත්වයකමයි නේද? ඔයා ආදරේ කරන කෙනෙක් කොච්චර කිව්වත් ඒක පිලිගන්නේ නැතුව දෙවි අකමැති දේවල් කරනවා දැකලා ඔයා කනස්සල්ලෙන්ද ඉන්නේ? ඒ වගේ දේවල් විඳදරාගන්න අපිට පුළුවන් කොහොමද? ඒකට උත්තරේ දැනගන්න අපි දැන් බලමු භට පිරිස එලියාව අල්ලගන්න යද්දී එලියා හිටියේ කොහෙද කියලා. එයා හිටියේ “කන්දක් මුදුනේ.” එලියා එතන හිටියේ ඇයි කියලා අපිට නිශ්චිතවම කියන්න බැහැ. ඒත් එයා නිතරම යෙහෝවා දෙවිට යාච්ඤා කරපු කෙනෙක් නිසා එයා ඒ කන්ද උඩට ගියේ තනිවෙලා යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න කියලා අපිට හිතන්න පුළුවන්. (යාකොබ් 5:16-18) හැම දවසකම වෙලාවක් වෙන් කරගෙන අපේ හිතේ තියෙන හැම දෙයක් ගැනම දෙවිට කියලා යාච්ඤා කරන්න අපිටත් පුළුවන්. මිනිසුන් හිතක් පපුවක් නැති විදිහට සහ තමන්ටම හානිදායක විදිහට වැඩ කළත් ඒක විඳදරාගන්න ඒක අපිට උදව්වක්.

පැවරුමේ වෙනසක්

යෙහෝවා දෙවිගෙන් එලියාට ලැබිලා තිබුණ පැවරුම අවසන් වෙන කාලය දැන් උදා වෙලා. එදා එලියායි එලිෂායි ගිල්ගාල් නගරයෙන් පිටත් වුණා. ‘මම බෙතෙල් නරගරයට යනවා. ඒ නිසා ඔයා මෙහෙ නතර වෙන්න’ කියලා එලියා එලිෂාට කියනවා. බෙතෙල් නගරය තියෙන්නේ එයාලා හිටපු තැන ඉඳලා කි.මි. 11ක් විතර දුරින්. ඒ වෙලාවේ එලිෂා මොනවද කිව්වේ? “මම ඔබව අත්හැර යන්නේ නැහැ කියා ජීවමාන යෙහෝවා දෙවි ඉදිරියෙත් ඔබ ඉදිරියෙත් දිවුරා පොරොන්දු වෙනවා” කියලා එලිෂා කියනවා. ඒ දෙන්නා බෙතෙල් නගරයට ආවට පස්සේ ‘මට යෙරිකෝ නගරයට යන්න තියෙනවා’ කියලා එලියා කියනවා. යෙරිකෝ නගරය තියෙන්නේ තවත් කි.මි. 22ක් විතර ඈතින්. ඒ වෙලාවෙත් එලිෂා කියන්නේ කලින් කියපු දේමයි. ඒ දෙන්නා යෙරිකෝවට ගියාට පස්සේ යොර්දාන් ගඟට කි.මි. 8ක විතර දුරක් තියන තැනකදී එලියා එලිෂාට නතර වෙන්න කියනවා. ඒත් එලිෂාගේ හිත ස්ථිරයි. එයා එලියාව දාලා යන්නේ නැහැ.—2 රාජාවලිය 2:1-6.

එලිෂාගේ හිතේ එලියා ගැන තිබුණේ පුදුම ආදරයක්. ඒකයි එයා එලියාව අත්හැරලා ගියේ නැත්තේ. රූත් නායොමිට පෙන්නුවෙත් ඒ වගේම ආදරයක්. ඒ වගේ ආදරයක් තියෙන කෙනෙක් කවදාවත් තමන් ආදරේ කරන අයව කවදාවත් අත්හරන්නේ නැහැ. (රූත් 1:15, 16) වෙන කවදාකටත් වඩා අද කාලයේ දෙවිගේ හැම සේවකයෙක්ම එකිනෙකාට ඒ වගේ ආදරෙන් සලකන්න ඕනේ. එදා එලිෂා කළා වගේ අපිත් ඒක වැදගත් දෙයක් විදිහට දකිනවාද?

එලිෂා තමන්ට කොච්චර ආදරෙයිද කියලා දැනෙද්දී එලියා හුඟක් දිරිගැන්වෙන්න ඇති. එලියාව අත්හැරලා ගියේ නැති නිසා එලිෂාට එලියා කරපු අන්තිම ආශ්චර්යය දකින්නත් අවස්ථාව ලැබුණා. යොර්දාන් ගං ඉවුරේ හිටපු එලිෂා තමන්ගේ නිල ඇඳුම ගලවලා ඒකෙන් වතුරට ගැහුවා. ඒ ගඟ සමහර තැන්වල ගැඹුරුයි. වතුර වේගයෙන් ගලාගෙන යනවා. ඒත් ගඟේ වතුර ටිකෙන් ටික දෙබෑ වුණා. “අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයෝ පනස්දෙනෙක්” ඒ කියන්නේ සැබෑ නමස්කාරය වෙනුවෙන් පෙරමුණ අරන් වැඩ කරන්න පුහුණුව ලබමින් හිටපු අය 50දෙනෙක් ආශ්චර්යය බලාගෙනයි හිටියේ. (2 රාජාවලිය 2:7, 8) එයාලාව පුහුණු කරන වැඩකටයුතු අධීක්ෂණය කළේ එලියා වෙන්න පුළුවන්. ඊට අවුරුදු කීපයකට කලින් තමන් ඇරෙන්න ඒ ප්‍රදේශයේ වෙන කවුරුවත් දෙවිට විශ්වාසවන්තව හිටියේ නැහැ කියලා එලියාට හිතුණා. ඒත් එලියා හැම දේම විඳදරාගෙන වැඩ කරපු නිසා සැබෑ නමස්කාරයේ දියුණුව වෙනුවෙන් තවත් අය එකතු වෙන විදිහ දකින්න එයාට පුළුවන් වුණා. ඒක එයාට ලැබුණ කොයිතරම් ලොකු ආශීර්වාදයක්ද!—1 රාජාවලිය 19:10.

ඒ දෙන්නා ගඟෙන් එගොඩ වුණාට පස්සේ එලියා එලිෂාට මෙහෙම කිව්වා. “මාව ඔබෙන් වෙන් කරන්න කලින් ඔබ කැමති දෙයක් මගෙන් ඉල්ලන්න.” තමන්ට එලිෂාගෙන් වෙන් වෙලා යන්න නියමිත වෙලාව ඇවිත් කියලා එලියා තේරුම්ගත්තා. තමන්ගේ සහයකයාට අනාගතයේදී ලැබෙන්න යන වරප්‍රසාද වගේම ප්‍රසිද්ධිය ගැන එලියා කවදාවත් ඊර්ෂ්‍යාවක් ඇති කරගත්තේ නැහැ. ඒ වෙනුවට පුළුවන් උපරිමයෙන් එලිෂාට උදව් කරන්නයි එලියාට ඕනෙ වුණේ. එලිෂා මොකක්ද ඉල්ලුවේ? “ඔබට ලැබුණු බලයෙන් දෙකොටසක් මට දෙන්න” කියලා එලිෂා එලියාගෙන් ඉල්ලුවා. (2 රාජාවලිය 2:9) එලිෂා ඒකෙන් අදහස් කළේ එලියාට ලැබුණ දෙවිගේ බලයෙන් දෙකොටසක් එයාට දෙන්න කියන එකද? නැහැ. අතීතයේදී පවුලක මුලින්ම බිහි වුණ දරුවාට දායාදයක් විදිහට සෑම දෙයකින්ම වැඩි ප්‍රමාණයක් නැත්නම් දෙකොටසක් ලබා දුන්නා. මොකද ඒ පවුලේ ඊළඟ මූලිකයා වශයෙන් එයාගේ වගකීම් හරියට ඉටු කරන්න එයාට ඒ දේවල් අවශ්‍ය වුණා. (ද්විතීය කතාව 21:17) එක විදිහටක බලද්දි එලිෂා එලියාගේ කුලුඳුල් පුතා වගේ. තමන්ට ඉදිරියට පැවැරිලා තියෙන වගකීම් ටික හරියට කරන්න නම් තමන්ටත් එලියාට වගේ ලොකු ධෛර්යයක්, උනන්දුවක් තියෙන්න ඕනෙ කියලා එලිෂා තේරුම්ගත්තා. එලිෂා එලියාගෙන් ඉල්ලුවේ ඒ දේ මිසක් දෙවිගෙන් ලැබුණ බලයෙන් දෙකොටසක් නෙමෙයි කියලා ඒකෙන් පැහැදිලියි.

එලිෂා ඉල්ලපු දේ දෙන්න තමන්ට අමාරුයි කියලා නිහතමානීව පිලිගත්ත එලිෂා ඒක දෙවිට භාර දුන්නා. ‘මං ඔයාගෙන් වෙන් වෙලා යනකොට ඔයාට මාව පෙනුණොත් ඔයා ඉල්ලපු දේ ඔයාට ලැබෙනවා’ කියලා එලියා එලිෂාට කිව්වා. ‘ඒ දෙන්නා කතා කරකර’ ඉස්සරහට ඇවිදගෙන ගියා. වැඩි වෙලාවක් යන්න කලින් හරිම අපූරු දෙයක් සිද්ධ වුණා.—2 රාජාවලිය 2:10, 11.

එලියා සහ එලිෂා එකිනෙකාව කිට්ටුවෙන් ඇසුරු කරපු එක දුෂ්කරතා දරාගන්න ඒ දෙන්නාටම උදව් වෙන්න ඇති

අහසෙන් ආපු අමුතු එළියක් එන්න එන්නම ඒ දෙන්නා ළඟට ආවා. එක පාරමට ලොකු සද්දයක් එක්ක තද හුළඟක් හමන්න පටන්ගත්තා. අහසින් ආපු දීප්තිමත් වස්තුවක් එලියා සහ එලිෂා හිටිය දිහාවට එන්න එන්නම ළං වෙද්දී ඒ දෙන්නා දෙපැත්තට වෙන් වෙන්න ඇති. මොකක්ද ඒ දීප්තිමත් වස්තුව? ඒක ගිනි ඇවිළෙනවා වගේ පෙනුණ අශ්ව රථයක්. ඒක දකිද්දී තමන්ට යන්න වෙලාව හරි කියලා එලියා දැනගන්න ඇති. එලියා ඒ රථයට නැග්ගාද? බයිබල් වාර්තාවේ ඒ ගැන සඳහන් වෙන්නේ නැහැ. බයිබලයේ කියන්නේ හැමුව තද සුළඟකින් එලියාව අහසට ඔසවාගත්තා කියලයි.

සිද්ධ වුණ ඒ අපූරු දේ එලිෂා ගල් ගැහිලා වගේ බලාගෙන ඉන්න ඇති. ඒක දකින්න තමන්ට අවස්ථාව ලැබුණ නිසා එලියාට තිබුණ උනන්දුවෙන්, ධෛර්යයෙන් “දෙකොටසක්” දෙවි තමන්ට දෙනවා කියලා එලිෂාට ස්ථිර වෙන්න ඇති. එත් ඒ වෙලාවේ එලිෂාට දැනුණේ ලොකු දුකක්. තමන්ගේ තාත්තා වගේ, යාළුවෙක් වගේ හිටපු එලියා කොහෙටද ගියේ කියලා එලිෂාට හිතාගන්න බැරි වෙන්න ඇති. ඒත් එයාව ආයෙ දකින්න හම්බ වෙන්නේ නැහැ කියලා එලිෂා දැනගෙන හිටියා. දැනුණ දුක කොච්චරද කියනවා නම් එලිෂා “මගේ පියාණෙනි, මගේ පියාණෙනි, මේ ඊශ්‍රායෙල්හි යුධ රථය හා එහි අසරුවන් නොවේද!” කියලා කෑගහලා කිව්වා. එලියාව ඈත අහසට ඔසවාගෙන යනවා බලන් හිටපු එලිෂා දුකෙන් තමන්ගේ පිට වස්ත්‍රය දෙකට ඉරාගත්තා.—2 රාජාවලිය 2:12.

තමන්ව අහසට ඔසවාගන්න වෙලාවේ එලිෂා කෑගහලා කියපු දේ ඇහිලා එලියාගේ ඇස්වලට කඳුළු එන්න ඇති. එලිෂා හොඳ යාළුවෙක් විදිහට ළඟින්ම ඉඳලා දුෂ්කර කාලවලදී දිගටම විඳදරාගන්න තමන්ට උදව් කළා කියන එක නම් එලියා අනිවාර්යයෙන්ම දැනගෙන හිටියා. අපිත් එලිෂා වගේ දෙවිට ආදරේ කරන, දෙවිගේ කැමැත්ත කරන්න ලොකු වෑයමක් දරන අයව හොඳ යාළුවන් කරගමු.

යෙහෝවා දෙවි එලියාව අලුත් පැවරුමකට යැව්වා

අවසාන පැවරුම

ඇත්තටම එලියා ගියේ කොහෙටද? එලියා දෙවිත් එක්ක ජීවත් වෙන්න ස්වර්ගයට ගියා කියලා සමහර ආගම්වල උගන්වනවා. ඒත් එහෙම හිතන්න බැහැ. මොකද මේ සිද්ධිය වෙලා සියවස් ගාණකට පස්සේ ‘මේ වෙන කල් කිසිම මිනිසෙක් ස්වර්ගයට ගිහිල්ලා නැහැ’ කියලා යේසුස් කිව්වා. (යොහන් 3:13) එත් සමහර බයිබල් පරිවර්තනවල සඳහන් වෙන්නේ “එලියා සුළඟකින් ස්වර්ගයට නැගී ගියේය” කියලා. (2 රාජාවලිය 2:11, ‘පැරණි අනුවාදය’) බයිබලයේ “ස්වර්ගය” කියන වචනය පාවිච්චි කරලා තියෙන්නේ යෙහෝවා දෙවි ජීවත් වෙන ස්ථානය හඳුන්වන්න විතරක්ම නෙමෙයි. ඒ වෙනුවට “ස්වර්ගය” කියද්දී ඒකට වායුගෝලය, සහ අහස කියන අදහසුත් ඇතුළත්. (ගීතාවලිය 147:8) ඒ තොරතුරු අනුව බලද්දී එලියාව නොපෙනී ගියේ අහසට නැත්නම් වායුගෝලයට කියලා අපිට පැහැදිලියි. ඊටපස්සේ මොකද වුණේ?

යෙහොවා දෙවි එලිෂාට අසල්වැසි යූදා රාජ්‍යයේ අලුත් පැවරුමක් දුන්නා. කලින් සිද්ධියෙන් අවුරුදු 7කට වඩා වැඩි කාලයකට පස්සෙත් එලියා යූදා දේශයේ දෙවිට සේවය කරමින් හිටියා කියලා බයිබල් වාර්තාවලින් පැහැදිලි වෙනවා. ඒ කාලේ යූදා දේශය පාලනය කළේ දුෂ්ට යෙහෝරම් රජ. එයා විවාහ කරගෙන හිටියේ ආහබ් රජගේ සහ යෙසබෙල් රැජිණගේ දුවව. ඒ නිසා ඒ කාලෙත් දේශය පුරාම දුෂ්ටකම් පැතිරිලා තිබුණා. විනිශ්චය පණිවිඩයක් ඇතුළත් ලියුමක් යෙහෝරම් රජට යවන්න කියලා යෙහෝවා දෙවි එලියාට කිව්වා. දෙවි කියපු විදිහටම යෙහෝරම් රජ දරුණු අසනීපයක් හැදිලා මැරුණා. ඒ විතරක් නෙමෙයි එයාගේ “මරණය ගැන කිසිවෙකුට දුකක්” ඇති වුණේත් නැහැ.—2 ලේකම් 21:12-20.

ඒ දුෂ්ට රජට වඩා එලියා කොච්චර වෙනස්ද! එලියා මිය ගියේ කොහොමද, කවදාද කියලා අපි දන්නේ නැහැ. ඒත් එයා මිය ගියේ යෙහෝරම් රජ මැරුණ විදිහට නම් නෙමෙයි කියලා අපිට විශ්වාසයි. විශේෂයෙන්ම එලිෂාට සහ අනිත් විශ්වාසවන්ත අනාගතවක්තෘවරුන්ට එලියා නැති අඩුව තදින්ම දැනෙන්න ඇති. ඊට අවුරුදු 1,000ට විතර පස්සේ යේසුස්ගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වුණ අවස්ථාවේදීත් එතන හිටපු අයට එලියාගේ දර්ශනයක් දකින්න ලැබුණා. දෙවි එලියාට කොච්චර ආදරෙයිද කියලා ඒකෙන් පැහැදිලියි. (මතෙව් 17:1-9) දුෂ්කරතා එද්දී එලියා වගේ ස්ථිරව ඉඳලා ඒවා විඳදරාගන්න ඔයාත් කැමතියිද? එහෙනම් දෙවිට ආදරේ කරන අය එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න. දෙවිට කරන සේවයෙන් අවධානය වෙනතකට යොමු කරන්න කිසිම දේකට ඉඩ දෙන්න එපා. අත්නෑර මුළු හදවතින්ම දෙවිට යාච්ඤා කරන්න. එහෙම කරද්දී යෙහෝවා දෙවිගේ මතකයේ ඔයාටත් නොමැකෙන ඉඩක් වෙන් වෙයි!

^ 9 ඡේ. එලියා හිටියේ කර්මෙල් කන්දේ ඒ කියන්නේ කලින් වතාවක බාල් දෙවියාගේ අනාගතවක්තෘවරුන් බොරුකාරයන් කියලා ඔප්පු කරන්න දෙවි එලියාට උදව් කරපු ස්ථානයේයි කියලා සමහර විශාරදයන් කියනවා. කොහොම වුණත් ඒ ස්ථානය මොකක්ද කියලා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ.