Skip to content

යොවුන් සිතේ ගැටලු

ඇයි මගේ හිතට මේ තරම් දුකක් දැනෙන්නේ?

ඇයි මගේ හිතට මේ තරම් දුකක් දැනෙන්නේ?

“මගේ යාළුවෝ දුකෙන් ඉන්නකොට මං තමයි එයාලව සනසන්නේ. ඒත් මගේ හිතේ තියෙන දුක එයාලා දන්නේ නැහැ. මම හුඟක් දවස්වලට මගේ කාමරේට වෙලා අඬනවා.”​—කෙලි.

“මං දුකෙන් ඉද්දී කාත් එක්කවත් කතා කරන්න කැමති නැහැ. මට ගමනක් යන්න කවුරු හරි එන්න කිව්වම මං කොහොම හරි ඒක මඟහරිනවා. හැබැයි මං ඉන්නේ දුකෙන් කියලා ගෙදර අයටවත් පෙන්නන්නේ නැහැ. එයාලා හිතන්නේ මට කිසි ප්‍රශ්නයක් නැහැ කියලයි.”​—රික්.

ඔයාටත් ඒ විදිහට හැඟිලා තියෙනවාද? එහෙමනම් කලබල වෙන්න එපා. සාමාන්‍යයෙන් හැමෝටම ඒ වගේ හැඟෙනවා. අතීතයේදී දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරපු සමහර අයටත් ඒ වගේ හැඟිලා තියෙනවා.​—1 සාමුවෙල් 1:6-8; ගීතාවලිය 35:14.

සමහරවිට දුකක් දැනෙන්නේ මොකක් හරි හේතුවක් නිසයි. ඒත් සමහර අයට හේතුවක් නැතුවත් දුකක් දැනෙනවා. ඒ ගැන අවුරුදු 19ක් වයස ඇනා මෙහෙම කිව්වා. “දුකක් දැනෙන්න ලොකු හේතුවක් තියෙන්නම ඕනෙ නැහැ. සමහර දවස්වලට කිසිම හේතුවක් නැතුවත් හිතට ලොකු දුකක් දැනෙනවා. ඇයි කියලා මට තේරෙන්නේ නැහැ.”

හිතට දුකක් දැනෙන්න හේතුවක් තිබුණත් නැතත් ඒ දුක නැති කරගන්න ඔයාට මොනවාද කරන්න පුළුවන්? මේ දේවල් අත්හදා බලන්න.

  1. දුක කියන්න. සිත් තැවුලෙන් හිටපු යෝබ් මෙහෙම කිව්වා. “හදවතේ දැවෙන දුක මම නොසඟවා ප්‍රකාශ කරන්නෙමි.”​—යෝබ් 10:1.

    කෙලි: මගේ හිතේ දුක කාට හරි කිව්වම මට ලොකු සහනයක් දැනෙනවා. ඒක හරියට මම වළක වැටිලා ඉන්නකොට කඹයක් දාලා මාව ගොඩට ගත්තා වගේ.

  2. දුක ලියන්න. එදිනෙදා වැඩ ටිකවත් කරගන්න බැරුව දුකෙන් ඉන්න වෙලාවට ඔයාගේ හිතට දැනෙන ඒ දුක්බර හැඟීම් පොතක ලියන්න. බයිබල් ලේඛකයෙක් වුණු දාවිත් දුකෙන් හිටපු අවස්ථාවලදී එයාට හැඟුණු දේවල් ගීතිකා විදිහට රචනා කළා. (ගීතාවලිය 6:6) ඒ වගේ ඔයාත් ඔයාගේ හිතට දැනෙන දුක ලියන්න. එතකොට ‘ප්‍රඥාවත් සිතීමේ හැකියාවත් රැකගන්න’ පුළුවන් වෙයි.​—හිතෝපදේශ 3:21.

    හෙදර්: හිතේ දුක නිසා කිසිම දෙයක් කරගන්න බැරි තරමට ඔළුව අවුල් වෙලා තියෙන වෙලාවට ඒ හැඟීම් ලිව්වම හිත සන්සුන් කරගන්න පුළුවන් වෙනවා. එතකොට දුක ටිකෙන් ටික අඩු වෙනවා.

  3. දුක ගැඹුරු වළක් වගෙයි. අනිත් අයගේ උදව්වෙන් හා ඔයාගේ උත්සාහයෙන් ඒ වළෙන් ගොඩ එන්න ඔයාට පුළුවන්

    යාච්ඤා කරන්න. ඔයාගේ දුක දෙවියන්ට කියලා යාච්ඤා කළාම ලැබෙන සහනය ගැන බයිබලයේ මෙහෙම කියලා තියෙනවා. “දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත් මනසටත් ආරක්ෂාවක් වේ.”​—ෆිලිප්පි 4:6, 7.

    එස්ත: සමහර වෙලාවට මට දුකක් දැනුණේ ඇයි කියලා මටම තේරුම්ගන්න බැරි වුණා. මට හැම දේම එපා වෙලයි තිබුණේ. ඒ වගේ වෙලාවට මට සතුටින් ඉන්න උදව් කරන්න කියලා මං යෙහෝවා දෙවියන්ට යාච්ඤා කෙරුවා. අන්තිමේදී ඒකෙන් ගොඩ එන්න පුළුවන් වුණා. ඒ නිසා යාච්ඤාවට තියෙන බලය කවදාවත් සැහැල්ලුවට ගන්න එපා.

    යෝජනාවක්: බයිබලයෙන් ගීතාවලිය 139:23, 24 කියවන්න. ඒ වගේ ඔයාත් යෙහෝවා දෙවියන්ට අවංකව යාච්ඤා කරන්න. ඔයාගේ හිතට මේ තරම් දුකක් දැනෙන්නේ ඇයි කියලා තේරුම්ගන්න දෙවියන්ගෙන් උපකාර ඉල්ලන්න.

ඒ යෝජනාවලට අමතරව බයිබලය කියවන එකෙනුත් ඔයාට ලොකු සහනයක් ලබාගන්න පුළුවන්. බයිබලයේ තියෙන දිරිගන්වන වාර්තා කියවලා ඒවායින් මනස පුරවගත්තොත් ඔයාගේ සිතුවිලි වෙනස් කරගෙන දුක තුනී කරගන්න පුළුවන්.—ගීතාවලිය 1:1-3.

දුක නැති වෙන්නෙම නැත්නම්

“සමහර දවස්වලට මට උදේට ඇඳෙන් බහින්නවත් හිතෙන්නේ නැහැ. මගේ ජීවිතේට අරමුණක් නැති නිසා තවත් දවසක් ජීවත් වෙන්න ලැබුණයි කියලා මට කිසි සතුටක් නැහැ.” එහෙම කිව්වේ රයන්. එයාට තියෙන්නේ සාමාන්‍යයෙන් ඇති වෙන දුකක් නෙමෙයි. එයා මානසික අවපීඩනයෙන් ඉන්න කෙනෙක්. ඒක රෝගයක්. වාර්තාවල පෙන්වන්නේ යෞවනයන් හතරදෙනෙක්ගෙන් එක් කෙනෙක් වැඩිහිටි වියට එන්න කලින් දරුණු නැත්නම් සුළු මානසික අවපීඩන තත්වයකට මුහුණ දෙනවා කියලයි.

ඔයාටත් තියෙන්නේ මානසික අවපීඩනයද කියලා දැනගන්නේ කොහොමද? මේ රෝග ලක්ෂණ තියෙනවාද කියලා බලන්න. මානසික තත්වය හා හැසිරීම හිටිහැටියේම වෙනස් වෙන එක, නිතරම තනි වෙලා ඉන්න කැමැත්තක් තියෙන එක, කිසිම දෙයක් කරන්න ආසාවක් නැති එක, කෑම ගැනීමේ හා නිදාගැනීමේ රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන එක, තමන් පොඩ්ඩක්වත් වටින්නේ නැහැ කියලා හිතෙන එක හා කිසිම හේතුවක් නැතුව තමන්ට දොස් පවරගන්න එක.

ඒ වගේ ලක්ෂණ එකක් දෙකක් තිබුණාට කලබල වෙන්න එපා. සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට ඒ වගේ ලක්ෂණ ඉඳලා හිටලා මතු වෙන්න පුළුවන්. හැබැයි ඒ ලක්ෂණ සති ගාණක් තියෙනවා නම් දෙමව්පියන්ට කියලා දොස්තර කෙනෙක් බලන්න යන්න. ඔයාට දුක්බර හැඟීම් ඇති වෙන්නේ රෝගී තත්වයක් නිසාද කියලා එතකොට දොස්තරගෙන් දැනගන්න පුළුවන් වෙයි.

ඔයාට මානසික අවපීඩනය තියෙනවා කියලා දොස්තර කිව්වොත් ඒ ගැන ලැජ්ජා වෙන්න එපා. මානසික අවපීඩනය තිබුණු හුඟක් අය බෙහෙත් අරන් සනීප වෙලා තියෙනවා. ඔයාට නිතරම දුක දැනෙන්නේ මානසික අවපීඩනය නිසා හරි වෙන හේතුවක් නිසා හරි වුණත් බයිබලයේ තියෙන මේ වචන කවදාවත් අමතක කරන්න එපා. “යෙහෝවා දෙවි බිඳුණු සිත් ඇති අයට සමීපව සිටියි. තැළුණු හදවත් ඇති අයව ඔහු බේරාගනියි.”—ගීතාවලිය 34:18.