Skip to content

හැලොවීන් උත්සවය බයිබලයට එකඟද?

බයිබලයේ ඒ ගැන කියන දේ

හැලොවීන් උත්සවය ගැන බයිබලයේ කිසිම දෙයක් සඳහන් වෙලා නැහැ. හැබැයි හැලොවීන් උත්සවයේ මූලාරම්භයත් ඒ උත්සවය හා බැඳිලා තියෙන චාරිත්‍රත් දිහා බලද්දී ඒක පටන් අරන් තියෙන්නේ මිය ගිය අයගේ ආත්ම හා භූතයන් ගැන තියෙන මිථ්‍යා විශ්වාස පදනම් කරගෙනයි කියන එක පැහැදිලියි.

බයිබලයේ මෙහෙම කියනවා. ‘ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් මායා බලයෙන් දේවල් කරන්න නොපෙලඹිය යුතුයි. මළවුන්ගෙන් තොරතුරු විචාරන්නවත් නොපෙලඹිය යුතුයි.’ (ද්විතීය කතාව 18:10-12) සමහරු හිතන්නේ හැලොවීන් උත්සවය විනෝද වෙන්න හොඳ අවස්ථාවක් කියලයි. හැබැයි මේ උත්සවයේතියෙන චාරිත්‍ර නම් බයිබලයට පටහැනියි. බයිබලයේ පැහැදිලිවම කියන්නේ “ඔබ භූතයන් සමඟ හවුල් වෙනවාට මම කැමති නැත. ඔබට යෙහෝවා දෙවිගේ කුසලානයෙනුත් භූතයන්ගේ කුසලානයෙනුත් බීමට නුපුළුවන” කියලයි.—1 කොරින්ති 10:20, 21.

හැලොවීන් උත්සවයේ සුලමුල

  1. සෞඅන් උත්සවය: හැලොවීන් උත්සවයේ මූලාරම්භය මීට “අවුරුදු 2,000කට කලින් කෙල්ට්වරුන් පවත්වපු සෞඅන් උත්සවයක් හා සම්බන්ධයි” කියලා එක විශ්වකෝෂයක සඳහන් වෙනවා. “ඒ උත්සවය පවත්වන කාලයේදී මිය ගිය අය, ජීවත් වෙලා ඉන්න අය අතරට එනවා කියලත් මිය ගිය අය එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා කියලත් කෙල්ට්වරු විශ්වාස කළ බව” ඒ විශ්වකෝෂයේ වැඩිදුරටත් සඳහන් වෙනවා. (The World Book Encyclopedia) ඒත් බයිබලයේ පැහැදිලිවම කියන්නේ “මිය ගිය අය කිසිවක් දන්නේ නැත” කියලයි. (දේශනාකාරයා 9:5) එහෙමනම් මිය ගිය අයට ජීවත් වෙන අය එක්ක සම්බන්ධ වෙන්න බැහැ.

  2. ඇඳුම් ආයිත්තම් හා රසකැවිලි: කෙල්ට්වරුන් සැමරුව මේ උත්සවය ගැන එක පොතක සඳහන් වෙලා තියෙනවා. ඒ පොතේ තියෙන විදිහට, මැරුණු අයගේ ආත්ම තමන්ට හානියක් කරයි කියලා හිතපු සමහර කෙල්ට්වරු බය හිතෙන ඇඳුම් ආයිත්තම්වලින් සැරසුණා. ඒගොල්ලෝ එහෙම කළේ ඒ ආත්ම තමන්වත් මිය ගිය ආත්ම විදිහට සලකලා හානියක් නොකරයි කියලා හිතපු නිසයි. තවත් අය මිය ගිය අයගේ ආත්ම සතුටු කරන්න හිතාගෙන රසකැවිලි හදලා පූජා කළා. 5වෙනි සියවස හා 15වෙනි සියවස අතර කාලයේදී කතෝලික පූජකයන් මිථ්‍යා ආගම්වල චාරිත්‍ර වාරිත්‍ර කතෝලික ආගමට ඈඳාගත්තා. ඒ වගේම තම බැතිමතුන්ටත් කිව්වා අමුතු විදිහට සැරසිලා ගෙවල් ගානේ ගිහින් පොඩි පොඩි තෑගි ඉල්ලන්න කියලා. (Halloween—An American Holiday, An American History) හැබැයි අන්‍යාගමික චාරිත්‍ර වාරිත්‍ර සැබෑ නමස්කාරයට සම්බන්ධ කරන එක වැරදියි කියලා බයිබලයේ කියනවා.—2 කොරින්ති 6:17.

  3. හොල්මන්, වැම්පයර්, මායාකාරියන් හා ඇවිදින මළ මිනී: අතීතයේ ඉඳලා මේවා සැලකුවේ භූතයන් හා සම්බන්ධ චරිත හැටියටයි කියලා පොතක සඳහන් වෙනවා. (Halloween Trivia) බයිබලයේ කියන්නේ භූතයන් එක්ක විනෝද වෙන්න කියලා නෙමෙයි ඔවුන්ට විරුද්ධ වෙන්න කියලයි.—එෆීස 6:12.

  4. හැලොවීන් වට්ටක්කා: 5වෙනි සියවස හා 15වෙනි සියවස අතර කාලයේදී “තමන්ට කෑම දුන්නොත් මිය ගිය අය වෙනුවෙන් යාච්ඤා කරනවා කියලා යාචකයන් ගෙවල් ගානේ ගිහින් කිව්වා. එහෙම යද්දී මදේ අයින් කරපු ටර්නිප් (රාබු වර්ගයක්) ගෙඩියක මැද ඉටිපන්දමක් පත්තු කරගෙන ගියා. ඒ ඉටිපන්දමෙන් අදහස් කළේ ශුද්ධගිනිස්ථානයේ හිර වෙලා හිටපු ආත්මයයි.” (Halloween—From Pagan Ritual to Party Night) මේ විදිහට ඉටිපන්දම් පත්තු කරගෙන ගියාම භූතයන්ව පලවාහරින්න පුළුවන් කියලා හිතපු නිසා එහෙම කළා කියලා සමහරු කියනවා. 1800 ගණන්වල උතුරු ඇමරිකාවේ වට්ටක්කා බහුලව තිබුණු නිසාත් වට්ටක්කා ගෙඩියේ මදේ අයින් කරන්න ලේසි නිසාත් ටර්නිප් වෙනුවට වට්ටක්කා ගෙඩි පාවිච්චි කරන්න පටන්ගත්තා. මේ චාරිත්‍රය පටන් අරන් තියෙන්නේ අමරණීය ආත්මය, ශුද්ධගිනිස්ථානය හා මිය ගිය අය වෙනුවෙන් යාච්ඤා කිරීම වගේ මිථ්‍යා විශ්වාසයන් පදනම් කරගෙනයි. ඒ නිසා ඒ චාරිත්‍රය බයිබලයට කොහොමටවත් එකඟ නැහැ.—ගීතාවලිය 146:4.