Skip to content

අන්‍ය භාෂා කතා කරන එක ගැන බයිබලේ කියන්නේ මොනවාද?

අන්‍ය භාෂා කතා කරන එක ගැන බයිබලේ කියන්නේ මොනවාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

මුල් සියවසේ හිටපු සමහර ක්‍රිස්තියානීන්ට තමන් දන්නේ නැති “භාෂාවලින් කතා” කරන්න හැකියාව ලැබුණා. (ක්‍රියා 10:46) ඒ භාෂා දැනගෙන හිටපු ඕනෑම කෙනෙකුට ඒ ක්‍රිස්තියානීන් කියපු දේවල් පැහැදිලිව තේරුණා. (ක්‍රියා 2:4-8) ඒක දෙවියන්ගේ බලයෙන් එයාලට ලැබුණ දීමනාවක්.—හෙබ්‍රෙව් 2:4; 1 කොරින්ති 12:4, 30.

 අන්‍ය භාෂා කතා කරන එක ආරම්භ වුණේ කොහේදීද සහ කවදාද?

ඒ ආශ්චර්යය මුලින්ම සිද්ධ වුණේ යෙරුසලමේදී. ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත උත්සවය පවත්වපු දවසේ උදේ වරුවේ තමයි ඒ දේ සිද්ධ වුණේ. එදා යේසුස්ගේ ගෝලයන් 120දෙනෙක් විතර එකට රැස් වෙලා ඉද්දී ‘දෙවියන්ගේ බලය එයාලා තුළ ක්‍රියාත්මක වූ නිසා සියලුදෙනාම විවිධ භාෂාවලින් කතා කරන්න පටන්ගත්තා.’ (ක්‍රියා 1:15; 2:1-4) “සියලු දේශවලින්” ආව ලොකු සෙනඟක් එතනට රැස් වෙලා හිටියා. ගෝලයන් ඒ සෙනඟට ‘තේරෙන භාෂාවලින් කතා කරනවා’ එයාලට ඇහුණා.—ක්‍රියා 2:5, 6.

 අන්‍ය භාෂා කතා කරපු එකේ අරමුණ මොකක්ද?

  1. ක්‍රිස්තියානීන්ට දෙවියන්ගේ උපකාරය තියෙනවා කියලා පෙන්නන්න. තමන්ට විශ්වාසවන්තව සේවය කරන අයට බලය දීලා උපකාර කරනවා කියලා ඔප්පු කරන්න දෙවියන් සමහරුන්ට පුදුමසහගත දේවල් කරන්න හැකියාව දුන්නා. අතීතයේ හිටපු මෝසෙස් ඒ අතරින් කෙනෙක්. (නික්මයාම 4:1-9, 29-31; ගණන් කතාව 17:10) දෙවියන් තමන්ගේ සේවකයන්ට අන්‍ය භාෂාවලින් කතා කිරීමේ හැකියාව දුන්නෙත් ඒ වගේම හේතුවක් නිසයි. අලුතින් පිහිටවපු ක්‍රිස්තියානි සභාවට දෙවියන්ගේ උපකාරය තිබුණා කියලා ඒකෙන් පැහැදිලි වුණා. පාවුල් මෙහෙම ලිව්වා. “වෙනත් භාෂාවලින් කතා කිරීමේ හැකියාව . . . දී තිබෙන්නේ යේසුස් ගැන විශ්වාසයක් ඇති අය වෙනුවෙන් නොව විශ්වාසයක් නැති අය වෙනුවෙනි.”—1 කොරින්ති 14:22.

  2. සම්පූර්ණ සාක්ෂියක් දෙන්න ක්‍රිස්තියානීන්ට උපකාර කරන්න. පෙන්තකොස්ත උත්සවය පවත්වපු දවසේදී යේසුස්ගේ අනුගාමිකයන් කියපු දේවල් අහගෙන හිටපු අය මෙහෙම කිව්වා. “දෙවිගේ බලවත් ක්‍රියා ගැන අපේම භාෂාවලින් ඔවුන් කතා කරන ආකාරය ඇහෙනවා.” (ක්‍රියා 2:11) ඒ ආශ්චර්යය නිසා යේසුස් අණ කරපු විදිහට ‘සෑම ජාතියකටම අයත් මිනිසුන්ට සම්පූර්ණ සාක්ෂියක් දරලා යේසුස්ගේ ගෝලයන් වෙන්න එයාලට උපකාර කරන්න’ ක්‍රිස්තියානීන්ට පුළුවන් වුණා. ඒකත් අන්‍ය භාෂා කතා කරන්න හැකියාව දුන්න එකේ එක අරමුණක්. (ක්‍රියා 10:42; මතෙව් 28:19) ඒ ආශ්චර්යය දැකලා ක්‍රිස්තියානීන් කියපු දේවලට සවන් දීපු 3,000ක විතර සෙනඟක් එදාම යේසුස්ගේ ගෝලයන් වුණා.—ක්‍රියා 2:41.

 අන්‍ය භාෂා කතා කරන්න ලැබුණ හැකියාව හැමදාටම තියෙනවාද?

නැහැ. අන්‍ය භාෂාවලින් කතා කිරීමේ හැකියාව ඇතුළු දෙවිගේ බලය මාර්ගයෙන් ලැබුණ දීමනා හැමදාටම තිබුණේ නැහැ. බයිබලයේ මෙහෙම කියනවා. “අනාවැකි කීමේ දීමනාව නැති වී යයි. වෙනත් භාෂාවලින් කතා කිරීමේ දීමනාවද නැති වෙයි.”—1 කොරින්ති 13:8.

 ඒ හැකියාව නැති වුණේ කවදාද?

දෙවියන් තමන්ගේ බලය මාර්ගයෙන් දුන්න දීමනා වෙනත් ක්‍රිස්තියානීන්ට ලැබුණේ යේසුස්ගේ ගෝලයනුත් එතන ඉද්දී. සාමාන්‍යයෙන් ගෝලයන් වෙනත් ක්‍රිස්තියානීන් මත අත තැබුවාම එයාලටත් ඒ දීමනා ලැබුණා. (ක්‍රියා 8:18; 10:44-46) පෙනෙන විදිහට ගෝලයන් මාර්ගයෙන් ඒ දීමනා ලබපු අයට ඒවා තවත් අයට ලබා දෙන්න පුළුවන් වුණේ නැහැ. (ක්‍රියා 8:5-7, 14-17) උදාහරණයකට මෙහෙම හිතන්න. ආණ්ඩුවේ නිලධාරියෙක් කෙනෙකුට රියදුරු බලපත්‍රයක් නිකුත් කරනවා. ඒත් ඒ බලපත්‍රය ලබපු කෙනාට අවසර නැහැ තවත් කෙනෙකුට බලපත්‍රයක් නිකුත් කරන්න. අන්‍ය භාෂා කතා කරන්න ලැබුණ දීමනාවත් ඒ වගේ. කාලයක් යද්දී යේසුස්ගේ ගෝලයන් මිය ගියා. ඒ වගේම ගෝලයන් මාර්ගයෙන් අන්‍ය භාෂා කතා කිරීමේ දීමනාව ලබපු අයත් මිය ගියා. ඒත් එක්කම අන්‍ය භාෂා කතා කරන එක නැති වුණා කියලා අපිට හිතන්න පුළුවන්.

 මේ කාලයේ අන්‍ය භාෂා කතා කරන්න පුළුවන්ද?

පෙනෙන විදිහට ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ අවසානයේදී වගේ අන්‍ය භාෂා කතා කිරීම නතර වුණා. තමන් අන්‍ය භාෂා කතා කරන්නේ තමන්ට දෙවියන්ගේ බලය තියෙන නිසා කියලා අද ඉන්න කිසිම කෙනෙකුට ඔප්පු කරන්න බැහැ. *

 සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගන්න උදව් වෙන්නේ මොකක්ද?

තමන්ගේ ගෝලයන්ව හඳුනාගන්න පුළුවන් වෙන්නේ එයාලා අතරේ තියෙන ආත්ම පරිත්‍යාගශීලී ආදරයෙන් කියලා යේසුස් කිව්වා. (යොහන් 13:34, 35) ඒ වගේම සැබෑ ක්‍රිස්තියානීන් අතර තියෙන ආදරය එයාලව හඳුනාගන්න සදාතනික ලකුණක් වෙයි කියලා පාවුල් කිව්වා. (1 කොරින්ති 13:1, 8) “කෙනෙකු තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වන විට” දකින්න ලැබෙන ගුණාංග අතරින් පළවෙනි එක තමයි ආදරය. ඒ ගුණාංගය ක්‍රිස්තියානීන් තුළ දකින්න තියෙයි කියලා පාවුල් කිව්වා.—ගලාති 5:22, 23.

^ 20 ඡේ.අන්‍ය භාෂාවලින් කතා කරන අයට දෙවිගේ අනුමැතිය තිබෙනවාද?” කියන ලිපිය බලන්න.”