Skip to content

විනාශය ළඟයි කියන්න තියෙන ලකුණ මොකක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදයේදී” ලෝකේ පුරාම සිද්ධ වෙන දේවල් ගැන බයිබලයේ සඳහන් වෙනවා. (මතෙව් 24:3, ‘පැරණි අනුවාදය’) අපි අද ජීවත් වෙන කාල පරිච්ඡේදය “අවසාන කාලය” කියලත් “අන්තිම දවස්” කියලත් බයිබලයේ හඳුන්වනවා. (2 තිමෝති 3:1, ‘නව අනුවාදය’; දානියෙල් 8:19) පහත සඳහන් කරලා තියෙන්නේ අවසාන කාලයේදී මේ පොළොවේ සිද්ධ වෙන කැපීපෙනෙන දේවල් ගැනයි.

  •   මහා පරිමාණයේ යුද්ධ.—මතෙව් 24:7; එළිදරව් 6:4.

  •   ආහාර හිඟකම්.—මතෙව් 24:7; එළිදරව් 6:5, 6.

  •   ප්‍රබල භූමිකම්පා.—ලූක් 21:11.

  •   දරුණු වසංගත.—ලූක් 21:11.

  •   දසත පැතිරුණු අපරාධ.—මතෙව් 24:12.

  •   මිනිසුන්ගේ ක්‍රියා නිසා පොළොව විනාශ වීම.—එළිදරව් 11:18.

  •   මිනිසුන්ගේ ගතිගුණ අන්තයටම පිරිහීම. ඒ නිසා ‘ස්තුතිවන්ත වෙන්නේ නැති, ද්‍රෝහිකම් කරන, කිසිම දෙයක් ගැන එකඟ නොවන, නින්දා කරන, තමන්වම පාලනය කරගන්න බැරි, දරුණු, යහපත්කමට කිසිම කැමැත්තක් නැති, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර’ මිනිස් සමාජයක් බිහි වෙනවා.—2 තිමෝති 3:1-4.

  •   ‘තමන්ගේම අය ගැන කිසි සෙනෙහසක් නැති’ අය නිසාත් ‘දෙමාපියන්ට අකීකරු වන දරුවන් නිසාත්’ පවුල් බැඳීම් බිඳ වැටීම.—2 තිමෝති 3:2, 3.

  •   දෙවියන් ගැන හුඟක් අයගේ හිත්වල ආදරයක් නැති වීම.—මතෙව් 24:12.

  •   ආගමක් දහමක් තිබුණාට ඒ දහමේ කියන විදිහට ජීවත් වෙන්නේ නැති මිනිසුන් දකින්න ලැබීම.—2 තිමෝති 3:5.

  •   බයිබලයේ තියෙන අනාවැකි හොඳින් අවබෝධ කරගන්න පුළුවන් වීම. ඒ අනාවැකිවලට අවසාන කාලය ගැන කියන අනාවැකිත් අයිතියි.—දානියෙල් 12:4.

  •   දේවරාජ්‍යය ගැන ශුභාරංචිය ලෝකය පුරාම දේශනා කිරීම.—මතෙව් 24:14.

  •   අවසානය ළඟයි කියන්න හුඟක් සාක්ෂි තිබුණත් හුඟක් අය ඒවා පිළිගන්නේ නැතුව සමච්චල් කිරීම.—මතෙව් 24:37-39; 2 පේතෘස් 3:3, 4.

  •   කලින් කියපු හැම අනාවැකියක්ම එකම කාලයකදී ඉටු වීම.—මතෙව් 24:33.

අපි ජීවත් වෙන්නේ “අවසාන කාලයේද?”

 ඔව්. “අවසාන කාලය” ආරම්භ වුණේ 1914 කියලා බයිබලයේ සඳහන් අනාවැකිවලින් සහ ලෝකයේ තත්වයෙන් පැහැදිලි වෙනවා. 1914දී දේවරාජ්‍යයේ පාලනය ස්වර්ගයේ පටන්ගත්තා. ඒ නිසා සාතන්ව සහ ඔහුගේ පැත්ත ගත්ත භූතයන්ව ස්වර්ගයෙන් පොළොවට හෙළුවා. (එළිදරව් 12:7-12) එදා ඉඳන් මිනිසුන්ව නොමඟ යවන්න සාතන් ගොඩක් බලපෑම් කරනවා. මිනිසුන් සාතන්ගේ බලපෑමට අහු වෙලා ඉන්නවා කියලා එයාලාගේ ආකල්පවලින් සහ ක්‍රියා කරන විදිහෙන් පේනවා. ඒ නිසයි බයිබලයේ කියන්නේ “අවසාන කාලයේදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක්” පැමිණෙනවා කියලා.—2 තිමෝති 3:1.