Skip to content

ලිංගික හිරිහැරවලින් ආරක්ෂා වෙන්නේ කොහොමද?

ලිංගික හිරිහැරවලින් ආරක්ෂා වෙන්නේ කොහොමද?

බයිබලයේ ඒ ගැන කියන දේ

බයිබලයේ දීලා තියෙන වටිනා මඟ පෙන්වීම් කිහිපයක් සලකා බලන්න.

  1. වැඩේට අවධානය දෙන්න. වැඩපොළේදී ගෞරවනීයව හා සුහදව කටයුතු කරන්න. හැබැයි ඕනෑවට වඩා ඇඟෑලුම්කම් පෑවොත් සමහරු හිතයි ඔයාව වැරදි දේකට වුණත් ලේසියෙන්ම පොලඹවගන්න පුළුවන් කියලා.—මතෙව් 10:16; කොලොස්සි 4:6.

  2. විනීතව අඳින්න. අනිත් අයගේ හැඟීම් ඇවිස්සෙන විදිහට අඳින්න එපා. ඒකෙන් ඔයා ගැන වැරදි හැඟීමක් ඇති වෙන්න පුළුවන්. “විනීත” හා “හොඳ සිහිකල්පනාවකින්” වැඩ කරන කෙනෙක් කියන එක අඳින පළඳින විදිහෙන් පේන්න තියෙන්න ඕන කියලා බයිබලයේ කියනවා.—1 තිමෝති 2:9.

  3. මිතුරන් තෝරගනිද්දී කල්පනාකාරීවෙන්න. ඔයා ආශ්‍රය කරන්නේ ආලවන්තකම් පාන හෝ ලිංගික හැසිරීම් ගැන හරිම ලිහිල් විදිහට හිතන අයවද? එහෙමනම් ඔයාවත් නොහොබිනා දේකට ඇදගන්න එයාලා දෙපාරක් හිතන එකක් නැහැ.—හිතෝපදේශ 13:20.

  4. අසභ්‍ය විහිළුවලට හවුල් වෙන්න එපා. කතාබහක් අතරතුර ‘මෝඩ කතා හෝ අසභ්‍ය විහිළු’ කරන්න පටන්ගත්තොත් එතැනින් යන්න.—එෆීස 5:4.

  5. අවදානම් තත්වයන් මඟහරින්න. උදාහරණයකට හේතුවක් නැතුව වැඩ වේලාවෙන් පස්සේ නතර වෙන්න කියලා කවුරු හරි කිව්වොත් හුඟක් කල්පනාකාරී වෙන්න.—හිතෝපදේශ 22:3.

  6. කෙළින් කියන්න. කෙනෙක් ඔයාට අනවශ්‍ය දෙයක් කරන්න හැදුවොත් ඒ වගේ දේකට ඔයා කොහොමටවත් කැමති නැහැ කියලා කෙළින් කියන්න. (1 කොරින්ති 14:9) ඔයාට මේ වගේ දෙයක් කියන්න පුළුවන්. “ඔයා ඔය වගේ ඕනෑවට වඩා ළං වෙනවාට මං කැමති නැහැ. මට ඒක හිරිහැරයක්.” කැමති නම් හිරිහැර කරන කෙනාට ලියුමක් ලියලා ඔයාට දැනෙන විදිහ ගැනත් ඉදිරියේදී ඒ කෙනා මොන වගේ කටයුතු කරනවාටද කැමති කියලත් දැනුම් දෙන්න. ඒ වගේ ස්ථාවරයක ඉන්නේ ඔයාගේ ආගමික විශ්වාසය නිසා කියලත් පැහැදිලිව සඳහන් කරන්න.—1 තෙසලෝනික 4:3-5.

  7. උපකාර ඉල්ලන්න. ඔයාට කවුරු හරි දිගටම හිරිහැර කරනවා නම් කිට්ටු යාළුවෙක්ට හරි, පවුලේ කෙනෙක්ට හරි, වැඩපොළේ ඉන්න විශ්වාසවන්ත කෙනෙක්ට හරි, මේ වගේ දේකදී උපකාර කරලා පළපුරුද්දක් තියෙන කෙනෙක්ට හරි ප්‍රශ්නේ කියන්න. (හිතෝපදේශ 27:9) හුඟක් අයට යාච්ඤාව ලොකු ශක්තියක් වෙලා තියෙනවා. ඔයා මීට කලින් මේ කාරණය ගැන යාච්ඤා කරලා නැත්නම් ඒ ගැන යාච්ඤා කරන්න. “සියලු සැනසිල්ලේ දෙවි” වන යෙහෝවා දෙවියන්ට පුළුවන් ඔයාට උපකාර කරන්න.—2 කොරින්ති 1:3.

වැඩපොළේ සිදු වන ලිංගික හිරිහැර නිසා හුඟක් අය පීඩා විඳිනවා. හැබැයි බයිබලයේ තියෙන මඟපෙන්වීම් අදාළ කරගන්නවා නම් ඒ වගේ හිරිහැරවලින් ආරක්ෂා වෙන්න පුළුවන්.