Skip to content

මරණය ගැන තියෙන බය නැති කරගන්නේ කොහොමද?

බයිබලයේ ඒ ගැන කියන දේ

අපි කවුරුත් මැරෙන්න ආස නැහැ. ඒ නිසා තමයි ජීවිතය රැකගන්න පුළුවන් හැම දෙයක්ම අපි කරන්නේ. (1 කොරින්ති 15:26) ඒත් මිථ්‍යා විශ්වාස හා වැරදි ඉගැන්වීම් නිසා සමහර අය මරණය ගැන බොරු බයක් ඇති කරගෙන තියෙනවා. ඒ නිසා ඒ අය “ජීවිත කාලය පුරාම වහලුන්” වෙලා. (හෙබ්‍රෙව් 2:15) හැබැයි මරණය ගැන සත්‍යය දැනගත්තම ජීවිතයේ සතුට නැති කරන ඒ බොරු බයෙන් නිදහස් වෙන්න පුළුවන්.—යොහන් 8:32.

මරණය ගැන සත්‍යය

  • මැරුණු කෙනෙක්ට කිසිම සිහිකල්පනාවක් නැහැ. (ගීතාවලිය 146:4) බයිබලයේ මරණය සමාන කරලා තියෙන්නේ තද නින්දකටයි. (ගීතාවලිය 13:3; යොහන් 11:11-14) තද නින්දක ඉද්දී මොකුත් දැනෙන්නේ නැහැ වගේ මැරුණාමත් මොකුත්ම දැනෙන්නේ නැහැ. ඒ නිසා මැරුණාට පස්සේ කොහේ හරි ගිහින් වධ වේදනා විඳින්න වෙයි කියලා බය වෙන්න ඕනේ නැහැ.

  • මැරුණ අයට බැහැ අපිට කරදර කරන්න. හතුරුකම් කරපු කෙනෙක්ට වුණත් මැරුණාට පස්සේ මොකුත් කරන්න පුළුවන්කමක් නැහැ. (හිතෝපදේශ 21:16) මැරුණ අයගේ “වෛරයද ඊර්ෂ්‍යාවද නැති වී ඇත” කියලා බයිබලයේ කියන්නේ ඒ නිසයි.—දේශනාකාරයා 9:6.

  • කෙනෙක් මැරුණාම එයා සදහටම අපෙන් වෙන් වුණා කියලා හිතන්න අවශ්‍ය නැහැ. මොකද මිය ගිය අයව අනාගතයේදී නැවත නැඟිටුවනවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා.—යොහන් 5:28, 29; ක්‍රියා 24:15.

  • කිසි කෙනෙක් මැරෙන්නේ නැති කාලයක් එනවා කියලා දෙවියන් කියලා තියෙනවා. (එළිදරව් 21:4) මැරෙයි කියන බය නැතුව ජීවත් වෙන්න ලැබෙන ඒ කාලය ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—ගීතාවලිය 37:29.