Skip to content

බයිබල් කාල වකවානුවලට අනුව 1914 විශේෂ අවුරුද්දක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

බයිබලයේ තියෙන විස්තරවලින් පැහැදිලි වෙන්නේ 1914දී දේවරාජ්‍යය ස්වර්ගයේ පිහිටෙව්වා කියලයි. බයිබලයේ දානියෙල් පොතේ 4වෙනි පරිච්ඡේදයේ කියලා තියෙන අනාවැකියකින් ඒක තහවුරු වෙනවා.

අනාවැකිය ගැන සාරාංශයක්. දෙවියන් අනාගතයේදී සිද්ධ වෙන දෙයක් ගැන බැබිලෝනියේ රජු වන නෙබුකද්නෙෂර්ට සිහිනයකින් පෙන්නුවා. විශාල ගහක් කපලා දාලා තියෙනවා ඔහු දැක්කා. “කාලවල් සතක්” යන තුරු ඒකට වැඩෙන්න නොදී වළක්වනවා කියලත් ඔහු දැක්කා.—දානියෙල් 4:1, 10-16.

අනාවැකියේ මුල් ඉටු වීම. ඒ සිහිනයේ විශාල ගහෙන් නියෝජනය කළේ නෙබුකද්නෙෂර් රජුවයි. (දානියෙල් 4:20-22) අවුරුදු හතකට ඔහුගේ පියවි සිහිය නැති වුණා. ඒ වගේම ඔහුට රජකමත් අහිමි වුණා. ඒක හරියට ගහ කපලා දැම්මා වගෙයි. (දානියෙල් 4:25) අවුරුදු හතක් ගත වුණාට පස්සේ නෙබුකද්නෙෂර්ට ආපහු පියවි සිහිය දෙවියන් ලබා දුන්නම පාලනය කරන්න සම්පූර්ණ අයිතිය තියෙන්නේ යෙහෝවා දෙවියන්ට කියලා ඔහු පිළිගත්තා. ඔහුට රජකමත් ආපහු ලැබුණා.—දානියෙල් 4:34-36.

අනාවැකියේ දෙවෙනි ඉටු වීම. ඒ අනාවැකිය ඉටු වෙන්න සලස්වන හේතුව ගැන බයිබලයේ මෙහෙම කියලා තියෙනවා. “මනුෂ්‍ය ආණ්ඩුවලට වඩා ඉහළින් සිටින, පූර්ණ බලයක් ඇති එකම තැනැත්තා වන්නේ මහෝත්තම දෙවියි. දෙවි තමා කැමති කෙනෙකුට පාලනය භාර දෙන අතර ඉතාම පහත්යයි සලකන තැනැත්තාට වුවද පාලනය භාර දෙන්නේය.” (දානියෙල් 4:17) ඒ කියන්නේ අවසානයේදී සියලුම පාලන බලය අහංකාර නෙබුකද්නෙෂර්ට දෙවියන් බාර දෙනවා කියලද? කොහොමටවත් නැහැ. මොකද නෙබුකද්නෙෂර් රජටවත් වෙනත් කිසිම පාලකයෙකුටවත් පාලන බලය දෙන්නේ නැහැ කියලා කලින් වතාවකදී දෙවියන් සිහිනයකින් රජුට පෙන්නලා තිබුණා. ඒ වෙනුවට දෙවියන් විසින්ම ‘කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවනවා’ කියලත් පෙන්නුවා.—දානියෙල් 2:31-44.

පුරාණයේදී දෙවියන්ගේ පාලනය නියෝජනය කරන රාජ්‍යයක් පොළොවේ පිහිටුවලා තිබුණා. ඒ ඊශ්‍රායෙල්වරුන්ගේ රාජ්‍යයි. ඒකේ පාලකයන් දෙවියන්ට විශ්වාසවන්තව හිටියේ නැති නිසා ඒ රාජ්‍යය “විනාශ” වෙන්න දෙවියන් ඉඩහැරියා. ඒත් ‘නීත්‍යනුකූල අයිතිය ඇති තැනැත්තාට’ දෙවියන් තම රාජ්‍යයේ පාලනය බාර දෙනවා කියලා කලින් කියලා තිබුණා. (එසකියෙල් 21:25-27) සදාකාලයටම පවතින දෙවියන්ගේ රාජ්‍යයේ පාලකයා වෙන නීත්‍යනුකූල අයිතිය ඇති තැනැත්තා හැටියට බයිබලයේ හඳුන්වලා දීලා තියෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වයි. (ලූක් 1:30-33) නෙබුකද්නෙෂර් රජ වගේ නෙමෙයි යේසුස් ඉතා “නිහතමානී” කෙනෙක්.—මතෙව් 11:29.

දානියෙල් 4වෙනි පරිච්ඡේදයේ සඳහන් කරලා තියෙන ගහෙන් නියෝජනය කරන්නේ මොකක්ද? සමහර අවස්ථාවලදී බයිබලයේ, ගස්වලින් පාලනයන් නියෝජනය කරනවා. (එසකියෙල් 17:22-24; 31:2-5) අනාවැකියේ දෙවෙනි ඉටු වීමේදී දානියෙල් 4වෙනි පරිච්ඡේදයේ සඳහන් විශාල ගහෙන් නියෝජනය වෙන්නේ දෙවියන්ගේ පාලනයයි.

ඒ ගහ කපා දැම්මා කියන එකෙන් අදහස් කළේ මොකක්ද? අනාවැකියේ මුල් ඉටු වීමේදී බලපු විදිහට නෙබුකද්නෙෂර් රජුට යම් කාලයකට ඔහුගේ රජකම අහිමි වුණා. ගහ කපා දමපු එකෙන් අදහස් කළේ රජකමට බාධා ඇති වුණා කියන එකයි. ඒ අනාවැකියේ දෙවෙනි ඉටු වීම ගැන දැන් බලමු. අතීතයේදී ඊශ්‍රායෙල් රජවරුන් පාලනය කළේ යෙරුසලමේ ඉඳලයි. ‘යෙහෝවා දෙවියන්ගේ පාලනය නියෝජනය කරන සිංහාසනය’ තිබුණේ යෙරුසලමේ. නෙබුකද්නෙෂර් රජු යෙරුසලම විනාශ කළාට පස්සේ පොළොවේ නියෝජනය වුණ දෙවියන්ගේ පාලනය යම් කාලයකට නතර වුණා.—1 ලේකම් 29:23.

‘කාලවල් හතෙන්’ නියෝජනය කරන්නේ මොකක්ද? ‘කාලවල් හතෙන්’ නියෝජනය වුණේ වෙනත් ජාතීන්ට ඔවුන්ගේ පාලනය කරගෙන යන්න දෙවියන් ඉඩහැරලා තිබුණු කාලයයි. කාලවල් හත පටන්ගත්තේ ක්‍රිස්තු පූර්ව 607 ඔක්තෝබර් මාසයේ. * ඒ කියන්නේ බයිබලයේ සඳහන් කරලා තියෙන කාල වකවානුවලට අනුව බැබිලෝනිවරුන් යෙරුසලම විනාශ කරපු අවුරුද්දෙයි.—2 රාජාවලිය 25:1, 8-10.

‘කාලවල් හත’ කොච්චර දීර්ඝද? මුල් ඉටු වීමේදී නෙබුකද්නෙෂර්ට රජකම අහිමි වුණේ අවුරුදු හතකට. නමුත් දෙවෙනි ඉටු වීමේදී කාලවල් හත අවුරුදු හතකට සීමා වුණේ නැහැ. එහෙම කියන්න හේතුව යේසුස් කියපු මේ දෙයින් පැහැදිලි වෙනවා. දෙවියන්ගේ පාලනය නියෝජනය කරපු “යෙරුසලම වෙනත් ජාතීන් විසින් පාගා දමනු ලබයි. එම ජාතීන් සඳහා නියමිත වූ කාලය නිම වන තුරු ඒ දේ දිගටම සිදු වෙයි.” (ලූක් 21:24) “ජාතීන් සඳහා නියමිත වූ කාලය” ඒ කියන්නේ දෙවියන්ගේ පාලනය ‘වෙනත් ජාතීන් විසින් පාගා දමන්න’ දෙවියන් ඉඩහැරපු කාලය හා දානියෙල් 4වෙනි පරිච්ඡේදයේ සඳහන් කරලා තියෙන ‘කාලවල් හත’ යන දෙකෙන්ම නියෝජනය වෙන්නේ එකම කාල පරිච්ඡේදයක්. ඒකෙන් පැහැදිලි වෙන්නේ යේසුස් මේ පොළොවේ ඉන්නකොටත් ‘කාලවල් හත’ ඉවර වෙලා තිබුණේ නැහැ කියන එකයි.

‘කාලවල් හත’ කොච්චර දීර්ඝද කියලා බයිබලයේ සඳහන් කරලා තියෙන තොරතුරුවලින් තේරුම්ගන්න පුළුවන්. “කාලවල්” තුනහමාරක් දවස් 1,260කට සමානයි කියලා බයිබලයේ කියනවා. එහෙමනම් ‘කාලවල් හත’ ඒ වගේ දෙගුණයක් වෙන්න ඕනේ. ඒ නිසා ‘කාලවල් හත’ දවස් 2,520කට සමානයි. (එළිදරව් 12:6, 14) ‘එක් දවසකින් නියෝජනය වන්නේ එක් අවුරුද්දක්’ කියලා බයිබලයේ සඳහන් කරලා තියෙන නිසා දවස් 2,520ක් අවුරුදු 2,520කට සමානයි. ඒ අනුව, අවුරුදු 2,520 හෝ ‘කාලවල් හත’ අවසන් වෙන්නේ 1914 ඔක්තෝබර්වලයි.—ගණන් කතාව 14:34; එසකියෙල් 4:6.

^ 10 ඡේ. ක්‍රිස්තු පූර්ව 607 කියලා කියන්න හේතුව ගැන වැඩි විස්තර දැනගන්න 2011 ඔක්තෝබර් 1 ‘මුරටැඹ’ සඟරාවේ 26-31 දක්වා පිටුවල ඇති “පුරාණ යෙරුසලම් නගරය විනාශ වුණේ කවදාද? පළමුවන කොටස” යන ලිපියත් 2011 නොවැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ 22-28දක්වා පිටුවල තියෙන “පුරාණ යෙරුසලම් නගරය විනාශ වුණේ කවදාද? දෙවන කොටස” යන ලිපියත් බලන්න.