Skip to content

දේවදූතයන් කියන්නේ කාටද?

දේවදූතයන් කියන්නේ කාටද?

බයිබලයේ ඒ ගැන කියන දේ

දේවදූතයන් කියන්නේ මිනිසුන්ට වඩා ලොකු බලයක් හැකියාවක් තියෙන පිරිසකට. (2 පේතෘස් 2:11) එයාලා ඉන්නේ ස්වර්ගයේ. ඒ කියන්නේ ඇහැට පේන්න තියෙන විශ්වයට වඩා උසස් නොපෙනෙන තැනක. (1 රාජාවලිය 8:27; යොහන් 6:38) එයාලට තියෙන්නේ මිනිසුන්ට තියෙනවා වගේ ශරීර නෙවෙයි. ඇහැට පේන්නේ නැති ශරීර.—1 රාජාවලිය 22:21; ගීතාවලිය 18:10.

දේවදූතයන්ව හැදුවේ කවුද?

දේවදූතයන්ව නිර්මාණය කළේ දෙවියන්. දෙවියන් ඒක කළේ ඔහුගේ “කුලුඳුල් නිර්මාණය” වන යේසුස් මාර්ගයෙන්. ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා. ‘ස්වර්ගයෙහි හා පොළොවෙහි ඇති පෙනෙන හා නොපෙනෙන අන් සියල්ල සෑදීමට දෙවි හවුල් කරගත්තේ යේසුස්වය.’ (කොලොස්සි 1:13-17) දේවදූතයන් විවාහ වෙන්නේවත් දරුවන් ඇති කරන්නේවත් නැහැ. (මාක් 12:25) “සැබෑ දෙවිගේ පුත්‍රයෝ” කියලා හඳුන්වන ඒ අයව තනි තනි පුද්ගලයන් විදිහටයි දෙවියන් නිර්මාණය කළේ.—යෝබ් 1:6.

දේවදූතයන්ව නිර්මාණය කළේ පොළොව නිර්මාණය කරන්න හුඟක් කාලෙකට කලිනුයි. දෙවියන් පොළොව නිර්මාණය කරද්දී දේවදූතයන් ‘සතුටු සිතින් ප්‍රශංසා කළා’ කියලා බයිබලයේ සඳහන් කරලා තියෙන එකෙන් ඒක පැහැදිලියි.—යෝබ් 38:4-7.

දේවදූතයන් කීදෙනෙක් ඉන්නවද?

එයාලා කීදෙනෙක් ඉන්නවද කියලා බයිබලයේ හරියටම කියලා නැහැ. ඒත් විශාල සංඛ්‍යාවක් ඉන්නවා කියලා නම් පැහැදිලියි. මොකද යොහන් දැක්ක දර්ශනයකදී එයා දේවදූතයන් මිලියන සිය ගාණක් දැක්කා.—එළිදරව් 5:11.

දේවදූතයන් එක් එක් කෙනාට නමක් පෞද්ගලිකත්වයක් තියෙනවද?

ඔව්. බයිබලයේ දේවදූතයන් දෙන්නෙක්ගේ නම් සඳහන් කරලා තියෙනවා. එක නමක් මිකායෙල්. අනිත් නම ගාබ්‍රියෙල්. (දානියෙල් 12:1; ලූක් 1:26) * තමන්ට නම් තියෙනවා කියලා තවත් දේවදූතයන් පිළිගත්තා. ඒත් එයාලගේ නම් හෙළි කළේ නැහැ.—උත්පත්ති 32:29; විනිශ්චයකරුවෝ 13:17, 18.

දේවදූතයන්ගේ පෞද්ගලිකත්වය එක් කෙනාගෙන් එක් කෙනාට වෙනස්. දේවදූතයන් එකිනෙකා එක්ක අදහස් හුවමාරු කරගන්නවා. (1 කොරින්ති 13:1) එයාලට හොඳට හිතන්නත් එයාලගේ හැඟීම් වචනවලට පෙරළලා දෙවියන්ට ප්‍රශංසා කරන්නත් පුළුවන්. (ලූක් 2:13, 14) හරි දේ කරනවද වැරදි දේ කරනවද කියලා තීරණයක් ගන්න එයාලට නිදහස තියෙනවා. දේවදූතයන් පිරිසක් දෙවියන්ට විරුද්ධ වුණු සාතන්ගේ පැත්ත ගත්ත එකෙන් ඒක පැහැදිලියි.—මතෙව් 25:41; 2 පේතෘස් 2:4.

දේවදූතයන්ට තියෙන වගකීම්වලට අනුව එයාලව කණ්ඩායම්වලට බෙදලා තියෙනවද?

ඔව්. දේවදූතයන් අතරින් බලවත්ම, උසස්ම අධිකාරියක් තියෙන්නේ අග්‍රදේවදූතයා විදිහට හඳුන්වන මිකායෙල්ට. (යූද් 9; එළිදරව් 12:7) යෙහෝවා දෙවියන්ගේ සිංහාසනය අසලම සේවය කරන්නේ සෙරාෆ්වරු. (යෙසායා 6:2, 6) කෙරුබ්වරුන්ටත් විශේෂ වගකීම් පවරලා තියෙනවා. උදාහරණෙකට ආදම් සහ ඒවව ඒදන් උයනෙන් එළියට දැම්මට පස්සේ ඒදන් උයනට කාටවත් ඇතුල් වෙන්න නොදී ඒක ආරක්ෂා කළේ කෙරුබ්වරු.—උත්පත්ති 3:23, 24.

දේවදූතයන් මිනිසුන්ට උදව් කරනවද?

ඔව්. දෙවියන් දේවදූතයන් මාර්ගයෙන් මිනිසුන්ට උදව් කරනවා.

  • තමන්ගේ සේවකයන් දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරද්දී එයාලට මඟ පෙන්වන්න දෙවියන් දේවදූතයන්ව යොදාගන්නවා. (එළිදරව් 14:6, 7) දේවදූතයන්ගේ උපකාරය නිසා ශුභාරංචිය දේශනා කරන අයට වගේම ඒකට ඇහුම්කන් දෙන අයටත් ප්‍රයෝජන ලැබෙනවා.—ක්‍රියා 8:26, 27.

  • දුෂ්ට මිනිසුන්ගෙන් ක්‍රිස්තියානි සභාව අපවිත්‍ර නොවී තියාගන්න දේවදූතයන් උදව් කරනවා.—මතෙව් 13:49.

  • දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අයට මඟ පෙන්වන්නෙත් එයාලව ආරක්ෂා කරන්නෙත් දේවදූතයන්.—ගීතාවලිය 34:7; 91:10, 11; හෙබ්‍රෙව් 1:7, 14.

  • ළඟදීම දේවදූතයන් යේසුස් ක්‍රිස්තුස්ගේ නායකත්වය යටතේ හැම දුෂ්ටකමක්ම නැති කරලා මිනිසුන්ට සහනයක් ලබා දෙනවා.—2 තෙසලෝනික 1:6-8.

අපි එක් එක් කෙනාට රැකවල් දේවදූතයෙක් ඉන්නවද?

දෙවියන්ගේ සෙනඟට දෙවියන් එක්ක තියෙන බැඳීම ආරක්ෂා කරගන්න දේවදූතයන් උදව් කරනවා. ඒත් හැම ක්‍රිස්තියානියෙක්ටම රැකවල් දේවදූතයෙක්ව දෙවියන් පත් කරලා තියෙනවා කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. * (මතෙව් 18:10) දේවදූතයන් දෙවියන්ගේ සේවකයන්ව හැම පීඩාවකින්ම, හැම පරීක්ෂාවකින්ම ආරක්ෂා කරන්නේ නැහැ. ඒ වෙනුවට ඒකට හොඳින් මුහුණ දෙන්න ඕන කරන ප්‍රඥාව සහ ශක්තිය දීලා “එයින් ගොඩ ඒමට මඟක්” දෙවියන් සලසා දෙනවා කියලා බයිබලයේ පෙන්වනවා.—1 කොරින්ති 10:12, 13; යාකොබ් 1:2-5.

දේවදූතයන් ගැන වැරදි මත

වැරදි මතය: හැම දේවදූතයෙක්ම හොඳයි.

ඇත්ත මේකයි: බයිබලයේ “භූත සේනාවන්” සහ “පව් කළ දේවදූතයන්” ගැන කතා කරනවා. (එෆීස 6:12; 2 පේතෘස් 2:4) එයාලා තමයි සාතන් එක්ක එකතු වෙලා දෙවියන්ට විරුද්ධව කැරලිගැහුවේ.

වැරදි මතය: දේවදූතයන් අමරණීයයි.

ඇත්ත මේකයි: සාතන් ඇතුළු නරක දේවදූතයන් විනාශ වෙන්න නියමිතයි.—යූද් 6.

වැරදි මතය: මිනිස්සු මැරුණම දේවදූතයන් වෙනවා.

ඇත්ත මේකයි: දේවදූතයන් කියන්නේ දෙවියන් නිර්මාණය කරපු වෙනස්ම පිරිසක්. ඒ නැවත නැඟිටුවපු මිනිස්සු නෙවෙයි. (කොලොස්සි 1:16) ස්වර්ගයේ ජීවත් වෙන්න නැවත නැඟිටුවන අයට අමරණීය ජීවිතය කියන තෑග්ග දෙවියන්ගෙන් ලැබෙනවා. (1 කොරින්ති 15:53, 54) ඒ අයට ස්වර්ගයේදී ලැබෙන්නේ දේවදූතයන්ට වඩා උසස් තත්වයක්.—1 කොරින්ති 6:3.

වැරදි මතය: දේවදූතයන් ඉන්නේ මිනිසුන්ට සේවය කරන්න.

ඇත්ත මේකයි: දේවදූතයන් කීකරු වෙන්නේ දෙවියන්ට මිසක් අපිට නෙවෙයි. (ගීතාවලිය 103:20, 21) යේසුස් උදව් ඉල්ලලා යාච්ඤා කළේ දෙවියන්ට. එහෙම නැතුව දේවදූතයන්ට නෙවෙයි.—මතෙව් 26:53.

වැරදි මතය: අපිට පුළුවන් උදව් ඉල්ලලා දේවදූතයන්ට යාච්ඤා කරන්න.

ඇත්ත මේකයි: යාච්ඤා කරන එක යෙහෝවා දෙවියන්ට කරන අපේ නමස්කාරයේ කොටසක්. (එළිදරව් 19:10) අපි යාච්ඤා කරන්න ඕනෙ දෙවියන්ට විතරයි. ඒක කරන්න ඕනෙ යේසුස් මාර්ගයෙන්.—යොහන් 14:6.

^ 10 ඡේ. මුල් හෙබ්‍රෙව් ලියවිලිවල යෙසායා 14:12 “දීප්තියෙන් බැබළෙන තාරකාව” කියලා සඳහන් කරලා තියෙන තැන්වලට සමහර බයිබල් පරිවර්තනවල යොදලා තියෙන්නේ “ලුසිෆර්” කියලා. සමහරු හිතන්නේ “ලුසිෆර්” කියන්නේ සාතන් නමැති යක්ෂයා බවට පත් වුණු දේවදූතයාගේ නම කියලා. ඒ වුණත් අවට පද දිහා බැලුවොත් එතැන කතා කරන්නේ බැබිලෝනියේ රජ පෙළපත ගැනයි. දෙවියන් ඒ අයගේ උඩඟුකම නින්දාවට ලක් කරන විදිහ ගැනයි එතැන කතා කරන්නේ. (යෙසායා 14:4, 13-20) “දීප්තියෙන් බැබළෙන තාරකාව” කියලා සඳහන් කරලා තියෙන්නේ බැබිලෝනියේ රජ පෙළපතේ පරාජය ගැන උපහාසයෙන් කතා කරන්නයි.

^ 21 ඡේ. පේතෘස්ව හිරගෙදරින් බේරගත්ත වාර්තාව කියවන සමහරු හිතන්නේ පේතෘස්ට රැකවල් දේවදූතයෙක් හිටියා කියලයි. (ක්‍රියා 12:6-16) ඒත් “පේතෘස් වෙනුවෙන් පෙනී සිටින දේවදූතයෙක්” කියලා ගෝලයන් කිව්වේ පේතෘස්ව නියෝජනය කරමින් දේවදූතයෙක් එතැනට ආවා කියලා එයාලා වැරදියට තේරුම්ගත්ත නිසා වෙන්න ඇති.