Skip to content

දෙවියන් හැම තැනම ඉන්නවාද?

දෙවියන් හැම තැනම ඉන්නවාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

දෙවියන්ට හැම දෙයක්ම පේනවා. ඒ වගේම ඕනම තැනක ඕනම දෙයක් කරන්නත් දෙවියන්ට පුළුවන්. (හිතෝපදේශ 15:3; හෙබ්‍රෙව් 4:13) හැබැයි දෙවියන් හැම තැනකම, හැම දේකම ඉන්නවා කියලා බයිබලයේ කියන්නේ නැහැ. ඒ වෙනුවට බයිබලයේ පෙන්නුම් කරන්නේ දෙවියන්ට වාසය කරන්න නිශ්චිත තැනක් තියෙනවා කියලයි.

  • දෙවියන්ගේ ස්වරූපය: දෙවියන්ව අපිට පේන්නේ නැහැ. මොකද දෙවියන්ට තියෙන්නේ අපිට තියෙනවා වගේ ශරීරයක් නෙවෙයි. (යොහන් 4:24; යොහන් 1:18) දෙවියන් ගැන බයිබලයේ සඳහන් වෙලා තියෙන දර්ශනවල පෙන්නුම් කරන විදිහට දෙවියන්ට ඉන්න වෙනම ස්ථානයක් තියෙනවා. දෙවියන් හැම තැනකම ඉන්න කෙනෙක් කියලා ඒ එකකවත් සඳහන් වෙන්නේ නැහැ.—යෙසායා 6:1, 2; එළිදරව් 4:2, 3, 8.

  • දෙවියන්ගේ වාසස්ථානය: දෙවියන් වාසය කරන්නේ ස්වර්ගයේ කියලා බයිබලයේ කියනවා. (1 රාජාවලිය 8:30) ඒක අපේ භෞතික විශ්වය ඇතුළේ තියෙන තැනක් නෙවෙයි. ස්වර්ගයේ ඉන්න දෙවියන්ගේ දූතයන් ‘නියමිත දවසේදී යෙහෝවා දෙවි * ඉදිරියෙහි පෙනී සිටිය’ අවස්ථාවක් ගැන බයිබලයේ තියෙනවා. (යෝබ් 1:6) ඒකෙනුත් අපිට තේරෙනවා දෙවියන්ට නිශ්චිත වාසස්ථානයක් තියෙනවා කියලා.

දෙවියන් හැම තැනකම වැඩ වසන්නේ නැත්නම් මට උපකාර කරන්න ඔහුට පුළුවන්ද?

ඔව්. දෙවියන් අපි හැම කෙනා ගැනම හුඟක් සැලකිලිමත්. දෙවියන් ස්වර්ගයේ හිටියාට පොළොවේ ඉන්න ධර්මිෂ්ඨ අය ගැන ඔහු හොඳ අවධානයකින් ඉන්නවා. ඒ නිසා දෙවියන්ට පුළුවන් ඒ අයට පිහිට වෙන්න. (1 රාජාවලිය 8:39; 2 ලේකම් 16:9) යෙහෝවා දෙවියන් තමන්ගේ විශ්වාසවන්ත සේවකයන්ට පිහිට වෙන විදි කිහිපයක් ගැන අපි බලමු.

  • ඔයා යාච්ඤා කරද්දී: ඔයා කොතැනක ඉඳන් යෙහෝවා දෙවියන්ට යාච්ඤා කළත් ඒ මොහොතෙම දෙවියන් ඒකට ඇහුම්කන් දෙනවා.—2 ලේකම් 18:31.

  • ඔයා කනස්සල්ලෙන් ඉද්දී: “යෙහෝවා දෙවි බිඳුණු සිත් ඇති අයට සමීපව සිටියි. තැළුණු හදවත් ඇති අයව ඔහු බේරාගනියි.”—ගීතාවලිය 34:18.

  • ඔයාට මඟ පෙන්වීම් ඕන වෙද්දී: “ඔබ යා යුතු මාර්ගය ගැන මම ඔබට කියා දෙන්නෙමි. වටහාගැනීමේ හැකියාවද මම ඔබට ලබා දෙන්නෙමි” කියලා යෙහෝවා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. (ගීතාවලිය 32:8) දෙවියන් බයිබලයේ තියෙන උපදෙස් මාර්ගයෙන් අපිට මඟ පෙන්වනවා.

සමහර අයට තියෙන වැරදි මත

වැරදි මතය: දෙවියන් නිර්මාණය කරලා තියෙන හැම දෙයක් තුළම ඔහු ඉන්නවා.

ඇත්ත මේකයි: පෘථිවියේවත් අපේ භෞතික විශ්වය ඇතුළේ කොහේ හරි තැනකවත් දෙවියන් වාසය කරන්නේ නැහැ. (1 රාජාවලිය 8:27) හැබැයි යෙහෝවා දෙවියන් නිර්මාණය කරලා තියෙන අහස, තරු ඇතුළු හැම දෙයක්ම “දෙවිගේ බලමහිමය ප්‍රකාශ” කරනවා කියලා බයිබලයේ කියනවා. (ගීතාවලිය 19:1) උදාහරණයකට මෙහෙම හිතන්න. චිත්‍ර ශිල්පියෙක් චිත්‍රයක් ඇන්දාම එයා ඒ චිත්‍රය ඇතුළේ ඉන්නේ නැහැ. ඒ වගේ යෙහෝවා දෙවියනුත් ඔහු නිර්මාණය කරලා තියෙන දේවල් තුළ වාසය කරන්නේ නැහැ. හැබැයි චිත්‍ර ශිල්පියෙක් කොච්චර දක්ෂයිද කියලා එයාගේ චිත්‍රයෙන් ඔප්පු වෙනවා. ඒ වගේ තමයි යෙහෝවා දෙවියන් නිර්මාණය කරපු මේ පෘථිවියේ තියෙන දේවල්වලින් ඔහුගේ ‘ගුණාංග ගැන අවබෝධයක් ලැබෙනවා.’ (රෝම 1:20) ඔහු කොච්චර බලවත්, ප්‍රඥාවන්ත, ප්‍රේමණීය කෙනෙක්ද කියලා ඒ නිර්මාණවලින් අපිට පැහැදිලි වෙනවා.

වැරදි මතය: දෙවියන් හැම තැනකම වැඩ සිටියොත් තමයි සියලුම බලය හිමි කෙනා වෙන්නත් හැම තැනකම වෙන දේවල් දැනගන්නත් ඔහුට පුළුවන් වෙන්නේ.

ඇත්ත මේකයි: යම් දෙයක් කරන්න දෙවියන්ට ඒ ස්ථානයටම යන්න අවශ්‍ය නැහැ. ඔහුට අතිමහත් බලයක් තියෙන නිසා ස්වර්ගයේ ඉඳලාම හැම දෙයක් ගැනම දැනගන්නත් ඕනම වෙලාවක, ඕනම තැනක, ඕනම දෙයක් කරන්නත් ඔහුට පුළුවන්.—ගීතාවලිය 139:7.

වැරදි මතය: දෙවියන් හැම තැනකම ඉන්නවා කියලා බයිබලයේ කියනවා. “මා ස්වර්ගයට නැඟ ගියත් ඔබ එහිය. මා මිනී වළෙහි සැතපී සිටියත් එතැනදීද ඔබට මාව පෙනෙයි” කියලා ගීතාවලිය 139:8 කියන්නේ ඒ නිසයි.

ඇත්ත මේකයි: ඒ බයිබල් පදයේ කියන්නේ දෙවියන් හැම තැනකම ඉන්නවා කියලා නෙවෙයි. ඒ වෙනුවට කාව්‍යමය විදිහට කියන්නේ අපි කොහේ හිටියත් අපිට පිහිට වෙන්න දෙවියන්ට පුළුවන් කියන එකයි.

^ 5 ඡේ. සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.