Skip to content

බයිබලයේ සඳහන් “වචනය” කියන යෙදුමෙන් අදහස් වෙන්නේ මොකක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

“දෙවියන්වහන්සේගේ වචනය” කියන යෙදුම හුඟක් අවස්ථාවලදී යොදාගෙන තියෙන්නේ දෙවියන්ගෙන් ලැබුණු පණිවිඩයක් නැත්නම් ඒ පණිවිඩවල එකතුවක් හඳුන්වන්න. (ලූක් 11:28; පැරණි අනුවාදය) සමහර අවස්ථාවලදී පදවි නමක් හැටියටත් “දෙවියන්වහන්සේගේ වචනය” කියන යෙදුම නැත්නම්, “වචනය” කියන යෙදුම යොදාගෙන තියෙනවා.—එළිදරව් 19:13; යොහන් 1:14.

දෙවියන්ගෙන් ලැබුණු පණිවිඩයක්. තමන් ප්‍රකාශ කරන්නේ දෙවියන්ගෙන් ලැබුණු පණිවිඩ කියලා හුඟක් අවස්ථාවලදී අනාගතවක්තෘවරුන් කියලා තියෙනවා. උදාහරණෙකට යෙරෙමියා අනාගතය ගැන කියපු පණිවිඩය ආරම්භ කළේ “යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය” කියලයි. (යෙරෙමියා 1:4, 11, 13; 2:1) අනාගතවක්තෘවරයෙක් වුණු සාමුවෙල්, දෙවියන් රජ විදිහට තෝරගෙන තියෙන්නේ සාවුල්ව කියලා කියන්න කලින් සාවුල්ට මෙහෙම කිව්වා. “මම දෙවිගේ පණිවිඩය ඔබට පවසන තෙක් ඔබ මෙතැන ටික වේලාවකට නතර වෙන්න.”—1 සාමුවෙල් 9:27.

පදවි නමක්. බයිබලයේ “වචනය” කියන යෙදුම යේසුස් ක්‍රිස්තුස්ව හඳුන්වන පදවි නමක් විදිහටත් යොදාගෙන තියෙනවා. ඒකට හේතු වෙන කාරණා කිහිපයක් බලන්න:

  • අනිත් හැම දෙයක්ම හදන්න කලින් වචනය ජීවත් වුණා. “බොහෝ කලකට ඉහතදී එනම්, අන් සියල්ල සෑදීමට පෙර ‘වචනය’ නමැති තැනැත්තා සිටියේය. සියල්ල සාදන විට ඔහු සිටියේ දෙවි සමඟය.” (යොහන් 1:1, 2) යේසුස් තමයි “දෙවිගේ කුලුඳුල් නිර්මාණය.” ‘අන් සියලු දේ සෑදීමට ප්‍රථමයෙන් ඔහු සිටියා.’—කොලොස්සි 1:13-15, 17.

  • වචනය මිනිසෙක් විදිහට පොළොවට ආවා. “‘වචනය’ නමැති එම තැනැත්තා මිනිසෙක් වී අප අතරේ ජීවත් විය.” (යොහන් 1:14) යේසුස් ක්‍රිස්තුස් තමා සතු සියල්ල අත්හැර දාසයෙකු හා සමානව මිනිසෙකු විදිහට මෙලොවට ආවා.—ෆිලිප්පි 2:5-7.

  • වචනය දෙවියන්ගේ පුතා. “‘වචනය’ නමැති එම තැනැත්තා මිනිසෙක් වී අප අතරේ ජීවත් විය” කියලා කිව්වාට පස්සේ නියෝජිත යොහන් මෙහෙම කිව්වා. “එසේ ජීවත් වෙද්දී ඔහුගේ තේජස දැකගැනීමට අපට හැකි විය. අප දුටු ඒ තේජස එකම පුතෙකු තම පියාගෙන් ලබන තේජසට සමානය.” (යොහන් 1:14) “යේසුස් ක්‍රිස්තුස් යනු දෙවිගේ පුත්‍රයා” කියලත් යොහන් කිව්වා.—1 යොහන් 4:15.

  • දෙවියන්ට හා සමාන ගතිලක්ෂණ වචනයට තියෙනවා. “වාක්‍යාණෝ දෙවියන්වහන්සේව සිටිසේක.” (යොහන් 1:1; පැරණි අනුවාදය) යේසුස් තුළින් ‘දෙවිගේ තේජස පිළිබිඹු වන අතර දෙවිගේ ගතිලක්ෂණ සියල්ල ඔහු තුළින් සම්පූර්ණයෙන්ම දැකගත හැක.’—හෙබ්‍රෙව් 1:2, 3.

  • වචනය රජකම් කරනවා. බයිබලයේ කියනවා “ඔහුගේ හිස මත බොහෝ ඔටුනුද තිබේ” කියලා. (එළිදරව් 19:12, 13) වචනය “රජවරුන්ගේ රජු, ස්වාමිවරුන්ගේ ස්වාමියා” හැටියටත් හඳුන්වලා තියෙනවා.—එළිදරව් 19:16; 1 තිමෝති 6:14, 15.

  • වචනය දෙවියන් වෙනුවෙන් කතා කරන කෙනා විදිහට සේවය කරනවා. පෙනෙන විදිහට “වචනය” කියන යෙදුමෙන් දෙවියන් තොරතුරු සහ මඟ පෙන්වීම් දැනුම් දෙන්න යොදාගන්න කෙනාව අදහස් වෙනවා. තමන් ඒ කාර්යය ඉටු කරපු බව සඳහන් කරමින් යේසුස් මෙහෙම කිව්වා. ‘මාව එවූ පියාණන් මා කිව යුතු දේ මට පැහැදිලිවම අණ කර තිබෙනවා. එමනිසා මම පවසන දේවල් පියාණන් මට කියා දුන් ආකාරයටම මම පවසනවා.’—යොහන් 12:49, 50.