Skip to content

ක්‍රිස්තියානීන් සබත් දවස පවත්වන්න ඕනද?

බයිබලයේ ඒ ගැන කියන දේ

ක්‍රිස්තියානීන් සතිපතා සබත පවත්වන්න අවශ්‍ය නැහැ. ඔවුන් ඉන්නේ “ක්‍රිස්තුස්ගේ නීතිය” යටතේ. ඒ නීතියට සබත් පැවැත්වීම ඇතුළත් නැහැ. (ගලාති 6:2; කොලොස්සි 2:16, 17) ඒ ගැන අපි ස්ථිර වශයෙන්ම කියන්නේ ඇයි? ඒකට හේතුව දැනගන්න මුලින්ම සබත පටන්ගත්ත විදිහ බලමු.

සබත කියන්නේ මොකක්ද?

“සබත” කියලා පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් වචනයේ අර්ථය “විවේක ගන්න නැත්නම් නවත්වන්න” කියන එකයි. පුරාණ ඊශ්‍රායෙල් ජාතියට දීපු ආඥා අතරින් එකක් තමයි සබත පවත්වන්න කියපු එක. බයිබලයේ මුලින්ම සබත ගැන සඳහන් වෙන්නේ ඒ අවස්ථාවෙයි. (නික්මයාම 16:23) උදාහරණයකට දසපනතේ හතරවෙනි පනත මේකයි. “සබත් දවස ශුද්ධ දවසක් බව මතක තබාගන්න. ඔබ දවස් හයක් පුරා වෙහෙස මහන්සි වී වැඩ කරන්න. නමුත් හත්වෙනි දවසේදී ඔබේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් සබතක් පවත්වන්න. ඔබත් ඔබේ දූපුතුන්වත් ඔබේ දාසදාසීන්වත් ඔබේ සතුන්වත් ඔබේ නුවරේ ජීවත් වන විදේශිකයන්වත් එදින කිසි වැඩක් නොකළ යුතුයි.” (නික්මයාම 20:8-10) සිකුරාදා හිරු බැස යෑමත් එක්ක පටන්ගත්ත සබත් දවස අවසන් වුණේ සෙනසුරාදා හිරු බැස යෑමත් එක්කයි. ඒ කාලය අතරතුර ඊශ්‍රායෙල්වරුන් තමන් හිටිය ස්ථානයෙන් පිටතට ගියේවත් ගින්නක් දැල්ලුවෙවත් දර එකතු කළේවත් බර ඉසුලුවෙවත් නැහැ. (නික්මයාම 16:29; 35:3; ගණන් කතාව 15:32-36; යෙරෙමියා 17:21) කවුරු හරි සබත් නීතිය කඩ කළොත් ඒ කෙනාට මරණ දණ්ඩනය නියම වුණා.—නික්මයාම 31:15.

යුදෙව් දිනදර්ශනයට අනුව සමහර දවස් වගේම 7වෙනි සහ 50වෙනි අවුරුදු සබත් කියලා හැඳින්නුවා. සබත් අවුරුදුවලදී ඊශ්‍රායෙල් සෙනඟ කෙත්වල බීජ වැපුරුවේවත් ණය පියවන්න කියලා ණයකාරයන්ට බල කෙරුවේවත් නැහැ.—ලෙවී කතාව 16:29-31; 23:6, 7, 32; 25:4, 11-14; ද්විතීය කතාව 15:1-3.

යේසුස්ගේ ජීවිත පූජාවෙන් සබත් නීතිය අවලංගු වුණා

ක්‍රිස්තියානීන් සබත් නීතිය යටතේ නැත්තේ ඇයි?

සබත් නීතිය අදාළ වුණේ මෝසෙස් මාර්ගයෙන් දීපු නීතිය යටතේ හිටිය අයට විතරයි. (එසකියෙල් 20:10-12) වෙනත් අය සබත් නීතිය පිළිපදින්න ඕන කියලා දෙවියන් බලාපොරොත්තු වුණේ නැහැ. ඊට අමතරව යේසුස්ගේ ජීවිත පූජාව නිසා යුදෙව්වන් පවා දසපනත ඇතුළු මෝසෙස් මාර්ගයෙන් දීපු ‘නීතියෙන් නිදහස්ව’ හිටියා. (රෝම 7:6, 7; 10:4; ගලාති 3:24, 25; එෆීස 2:15) ඒ නිසා ක්‍රිස්තියානීන් යටත් වෙන්නේ මෝසෙස් මගින් දීපු නීතියට නෙමෙයි ප්‍රේමය නැමති උතුම් නීතියටයි.—රෝම 13:9, 10; හෙබ්‍රෙව් 8:13.

සබත ගැන වැරදි මත

වැරදි මතය: දෙවියන් සබත පිහිටෙව්වේ සියල්ල නිර්මාණය කරලා නිවාඩු ගත්ත හත්වෙනි දවසෙයි.

ඇත්ත මේකයි: බයිබලයේ මෙහෙම කියනවා. “දෙවි හත්වන දවසට ආශීර්වාද කර එය ශුද්ධ දවසක් ලෙස ප්‍රකාශ කළේය. මන්ද දෙවි තමා පටන්ගත් වැඩ නිම කර හත්වන දවසේ සිට ඒ සියලු වැඩවලින් විවේක ගත්තේය.” (උත්පත්ති 2:3) මේ පදයේ කියන්නේ දෙවියන් හැම දේම නිර්මාණය කළාට පස්සේ හත්වෙනි දවසේ කරපු දෙයක් ගැනයි. මිනිසුන්ට දීපු නීතියක් ගැන එතන සඳහන් වෙන්නේ නැහැ. මෝසෙස්ගේ කාලයට කලින් කවුරුත් සබත පැවැත්තුවා කියලා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ.

වැරදි මතය: මෝසෙස් මගින් නීතිය දෙන්න කලින් ඉඳලම ඊශ්‍රායෙල්වරුන් සබත් නීතියට යටත්ව හිටියා.

ඇත්ත මේකයි: මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ට මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවි අපි සමඟ හොරෙබ් කඳුකරයේදී ගිවිසුමක් කළා.” හොරෙබ් කියන්නේ සීනයි කන්ද අවට තියෙන කඳුකරයටයි. ඒ ගිවිසුමට සබත් නීතියත් ඇතුළත්. (ද්විතීය කතාව 5:2, 12) ඊටපස්සේ සඳහන් වාර්තාවලින් පේන්නේ සබත කියන දේ ඔවුන්ට අලුත් දෙයක් වුණා කියලයි. ඊජිප්තුවේ හිටිය කාලේ ඉඳලාම ඊශ්‍රායෙල්වරු සබත් දවස පැවැත්තුවා නම් ඊජිප්තුවෙන් නිදහස් වෙලා ආව එක සබත් දවසෙන් සිහිගන්වනවා කියලා දෙවියන් කිව්වේ ඇයි? (ද්විතීය කතාව 5:15) හත්වෙනි දවසේදී මන්නා එකතු කරන්න එපා කියලා ඔවුන්ට කියන්න සිදු වුණේ ඇයි? (නික්මයාම 16:25-30) සබත් නීතිය කැඩුවා කියලා පළමු වතාවට වාර්තා වුණ කෙනා සම්බන්ධයෙන් කරන්න ඕන දේ ඔවුන් දැනගෙන හිටියේ නැත්තේ ඇයි?—ගණන් කතාව 15:32-36.

වැරදි මතය: සබත් නීතිය සදහටම පවතින එකක් නිසා අදත් ඒක පවත්වන්න ඕනේ.

ඇත්ත මේකයි: සමහර බයිබල්වල සබත “සදාතන ගිවිසුමක්” කියලා සඳහන් වෙනවා. (නික්මයාම 31:16 ‘නව අනුවාදය’) ඒත් “සදාතන” කියලා පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් වචනයට “ඉදිරියේ යම් කාලයක් පුරා” කියන අදසහත් ඇතුළත් නිසා සදහටම කියන එකම ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. උදාහරණයකට ඊශ්‍රායෙල්වරුන්ට පූජකයන් හැටියට සේවය කරන්න තිබුණු වරප්‍රසාදය ගැන කියද්දී ඒ හෙබ්‍රෙව් වචනයමයි පාවිච්චි කරලා තියෙන්නේ. හැබැයි මීට අවුරුදු 2,000කට විතර කලින් දෙවියන් පූජකයන්ගේ සේවය අහෝසි කළා.—නික්මයාම 40:15; හෙබ්‍රෙව් 7:11, 12.

වැරදි මතය: යේසුස් සබත පැවැත්තුව නිසා ක්‍රිස්තියානි අයත් සබත පවත්වන්න ඕනේ.

ඇත්ත මේකයි: යේසුස් උපතින්ම යුදෙව්වෙක් නිසා මෝසෙස් මගින් දුන්න නීතියට කීකරු වෙන්න යේසුස් බැඳිලා හිටියා. ඒ නිසයි ඔහු සබත පැවැත්තුවේ. (ගලාති 4:4) ඒත් යේසුස් මිය ගියාට පස්සේ සබත ඇතුළු ඒ නීතිය අවලංගු වුණා.—කොලොස්සි 2:13, 14.

වැරදි මතය: ක්‍රිස්තියානියෙක් හැටියට නියෝජිත පාවුල් සබත පැවැත්තුවා.

ඇත්ත මේකයි: පාවුල් සබත් දවසේදී සිනගෝගයට ගියත් යුදෙව්වන්ගේ වත්පිළිවෙත්වලට හවුල් වුණේ නැහැ. (ක්‍රියා 13:14; 17:1-3; 18:4) සිනගෝගයේ රැස් වෙලා ඉන්න අයට කතා කරන්න ආරාධනාවක් ඇතුව එන කෙනෙකුට අවස්ථාව දෙන එක සිරිතක් වුණ හින්දා පාවුල් ඒකෙන් ප්‍රයෝජන අරන් සිනගෝගයේදී ශුභාරංචිය කිව්වා. (ක්‍රියා 13:15, 32) ඔහු සබත් දවසේ විතරක් නෙවෙයි “දිනපතාම” ශුභාරංචිය කිව්වා.—ක්‍රියා 17:17.

වැරදි මතය: ක්‍රිස්තියානීන් සබත පවත්වන්නේ ඉරිදා දවසේදියි.

ඇත්ත මේකයි: සතියේ මුල් දිනය වන ඉරිදා දවසේ විවේක ගන්න කියලාවත් නමස්කාර කරන්න කියලාවත් බයිබලයේ ආඥාවක් දීලා නැහැ. මුල් ක්‍රිස්තියානීන් සතියේ අනිත් දවස්වල වගේම ඉරිදා දවසෙත් වැඩ කළා. විශ්වකෝෂයක මෙහෙම කියනවා. “ඉරිදා දවසේ සබත් චාරිත්‍ර පවත්වන්න පටන්ගත්තේ 4වෙනි සියවසේදියි. ඒකට හේතුව බොරු දෙවිවරුන්ව ඇදහුව රෝම අධිරාජ්‍යයා වුණ කොන්ස්ටන්ටයින් ඉරිදා දවසේ යම් වැඩකටයුතු තහනම් කිරීමයි.” *The International Standard Bible Encyclopedia.

ඉරිදා දවස විශේෂ දවසක් හැටියට සැලකුවා කියලා ඇඟවෙන තැන් බයිබලයේ තියෙනවාද? “සතියේ පළමුවෙනි දවසේදී” ඒ කියන්නේ ඉරිදා දවසේදී පාවුල් අනිත් ක්‍රිස්තියානීන් එක්ක කෑම වේලක් ගත්තා කියලා බයිබලයේ කියනවා. එහෙම කළේ පාවුල් ඊළඟ දවසේදී ඒ ස්ථානයෙන් පිටත්ව යන නිසයි. (ක්‍රියා 20:7) ඒ වගේම ‘සෑම සතියකම පළමුවෙනි දිනය’ වන ඉරිදා දවසේ සම්මාදම් වෙනුවෙන් මුදලක් වෙන් කරන්න කියලා සමහර සභාවලට දැනුම් දුන්නා. ඒත් ඒක මුදල් වෙන් කරන්න දුන්න යෝජනාවක් විතරයි. මුදල් වෙන් කළේ තම තමන්ගේ ගෙවල්වලදියි. ඒවා රැස්වීම් පවත්වන ස්ථානයකට අරන් ගියේ නැහැ.—1 කොරින්ති 16:1, 2.

වැරදි මතය: විවේක ගන්නත් නමස්කාර කරන්නත් සතියේ එක දවසක් වෙන් කරන එක වැරදියි.

ඇත්ත මේකයි: බයිබලයේ කියන විදිහට විශේෂ දවසක් වෙන් කරනවාද නැද්ද කියන එක පෞද්ගලික තීරණයක්.—රෝම 14:5.

^ 21 ඡේ. New Catholic Encyclopedia කියන විශ්වකෝෂයේ දෙවෙනි සංස්කරණයේ 13වෙනි වෙළුමේ 608වෙනි පිටුවත් බලන්න.