Skip to content

පවුලේ හැමෝටම මඟ පෙන්වීම් | දෙමව්පියන්ට

හිතන්න උදව් වෙන ක්‍රියාකාරකම්වල වාසි වැඩියි!

හිතන්න උදව් වෙන ක්‍රියාකාරකම්වල වාසි වැඩියි!

 “හිතන්න උදව් වෙන ක්‍රියාකාරකම්වල” යෙදෙන එක දරුවෙක්ගේ වර්ධනයට ගොඩක් ප්‍රයෝජනවත්. ඒවාවල යෙදෙන දරුවන්ගේ බුද්ධිය හොඳට වර්ධනය වෙනවා, අලුත් දේවල් හොයන්න ආසාව වැඩි වෙනවා, නිර්මාණශීලී හැකියාවන් දියුණු වෙනවා. ඒ ප්‍රයෝජන කිහිපයක් විතරයි.

 ඒකට උදව් වෙන සරල දේවල් කීපයක්.

  •   චිත්‍ර අඳින එක

  •   කෑම උයන එක (මේ දේ කරන්න ඕනෙ වැඩිහිටියෙක්ගේ අධීක්ෂණය යටතේ)

  •   සෙල්ලම් ගෙවල් හදන එක, චරිත රඟපාන එක

  •   සිංදු කියන එක

  •   බිල්ඩිං බ්ලොක්වලින් එක එක දේවල් හදන එක

  •   කාඩ්බෝඩ් පෙට්ටි, ක්ලේ වගේ ලේසියෙන් හොයාගන්න පුළුවන් දේවල් පාවිච්චි කරලා සෙල්ලම් කරන එක

 දැන් දැන් හුඟක් රටවල ඉන්න දරුවන් මනස වෙහෙසන ඒ වගේ දේවල් කරන්නේ නැහැ. ඒ වෙනුවට එයාලා විනෝද වෙන්නේ එච්චර හිතන්න ඕනෙ නැති, එක තැන ඉඳගෙන කරන්න තියෙන දේවල්වලින්. එහෙම නැත්නම් වෙන අය සංවිධානය කරපු ක්‍රියාකාරකම්වලට හවුල් වෙන එකෙන්.

 මේ කාරණාත් සැලකිල්ලට ගන්න.

 දැනගන්න ඕන දේ

  •   හිතන්න උදව් වෙන ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් දරුවාගේ වර්ධනයට බලපානවා. ඒක ශාරීරික සහ මානසික වර්ධනයට, නිර්මාණශීලී හැකියාව දියුණු කරගන්න, අනිත් අය එක්ක පෑහිලා වැඩ කරන්න උදව් වෙනවා. ඉවසන්න ඉගෙනගන්නත් තීරණ ගැනීමේ හැකියාව දියුණු කරගන්නත් ආවේගයෙන් වැඩ කරන්නේ නැතුව ඉන්නත් කට්ටියක් එක්ක සෙල්ලම් කරද්දී කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරන්නත් ඒ වගේ දේවල් දරුවෙක්ට උදව් වෙනවා. ඇත්තටම හොඳ වැඩිහිටියෙක් වෙන්න ඒවා දරුවෙක්ව සූදානම් කරනවා.

  •   වැඩි කාලයක් ෆෝන්, ටැබ් වගේ ඩිවයිස් පාවිච්චි කරන එකෙන් හානියක් වෙන්න පුළුවන්. දරුවෙක් ගොඩක් වෙලා ඩිවයිස් එක්ක කාලය ගත කළොත් එයා ඒකට ඇබ්බැහි වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. දරුවා තරබාරු වෙන්නත් දරදඬු විදිහට හැසිරෙන්න පටන්ගන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා දරුවන්ගේ අතට ෆෝන් එක, ටැබ් එක දීලා නැත්නම් ටීවී එක දාලා දීලා එයාලව එක තැන තියාගන්න හදන දෙමාපියන් ඒ අනතුරු ගැන හිතලා බලන එක හරිම වැදගත්.

  •   එක පිට එක දේවල් කරන එකේ අවාසි තියෙනවා. එක පුහුණුවක්, ක්‍රියාකාරකමක් ඉවර වෙද්දී තවත් එකක් කරන්න දරුවාව යොමු කරන එකෙන් දරුවාට වෙන්නේ හානියක්. හොඳට හිතලා නිර්මාණශීලීව දෙයක් කරන්න එතකොට එයාට බැරි වෙනවා.

 කරන්න පුළුවන් දේ

  •   හිතන්න උදව් වෙන දේවල් කරන්න උදව් කරන්න. වත්තේ ඉඩ තියෙනවා නම් සෙල්ලම් කරන්න දරුවන්ව එළියට යවන්න. එහෙම නැත්නම් ඉඩ තියෙන තැනකට ගෙනියන්න. පරිසරය රස විඳින්න, අවට ලෝකෙන් ඉගෙනගන්න ඒක දරුවන්ට උදව් වෙයි. එයාලට විනෝදාංශයක් පටන්ගන්න උදව් කරන්න. දරුවාගේ නිර්මාණශීලී හැකියාව a දියුණු කරගන්න උදව් වෙන සෙල්ලම් බඩු ගෙනත් දෙන්න.

     හිතන්න දෙයක්: හිතන්න උදව් වෙන දේවල් කරන එකෙන් මගේ දරුවාට වර්ධනය කරගන්න පුළුවන් හැකියාවන් සහ ගුණාංග මොනවාද? ඒක දරුවාගේ අනාගතයට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

     බයිබල් ප්‍රතිපත්තිය: ‘ක්‍රීඩකයෙකු පුහුණු වීම් කටයුතුවල යෙදුණොත් ඔහුට එයින් ප්‍රයෝජන ලැබෙයි.’—1 තිමෝති 4:8.

  •   ඩිවයිස් පාවිච්චි කරන එකට සීමාවක් දාන්න. දරුවාව පුටුවක ඉන්දවලා ටීවී එක දාලා දෙන්න කලින්, ෆෝන් එක අතට දෙන්න කලින් ඒ ගැන දෙපාරක් හිතන්න. අවුරුදු 2ට අඩු දරුවන්ට ඩිවයිස් දෙන එකවත් අවුරුදු 2ත් 5ත් අතර දරුවන්ට දවසකට පැයකට වඩා වැඩි කාලයක් ඩිවයිස් පාවිච්චි කරන්න දෙන එකවත් ළමා රෝග විශේෂඥයන් අනුමත කරන්නේ නැහැ. b

     හිතන්න දෙයක්: මගේ දරුවා ඩිවයිස් එක පාවිච්චි කරන වෙලාව ගැන දාන්න පුළුවන් සීමාවන් මොනවාද? දරුවා ඩිවයිස් එක පාවිච්චි කරන වෙලාවට මාත් එයාත් එක්ක ඉන්න එක හොඳද? ඩිවයිස් එකක් වෙනුවට දරුවාට දෙන්න පුළුවන් මොනවාද?

     බයිබල් ප්‍රතිපත්තිය: ‘ඔබ ඉතා සෝදිසියෙන් සිට අඥානයන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ඔබේ ජීවිතය ගත කිරීමට වගබලා ගන්න. ඔබට ලැබෙන සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න.’—එෆීස 5:15, 16.

  •   කලින් සංවිධානය කරපු ක්‍රියාකාරකම් දරුවාට කොහොම බලපායිද කියලා හිතන්න. ඒ වගේ දෙයකට සම්බන්ධ වෙන එකෙන් දරුවාට මොකක් හරි ක්‍රීඩාවක් කරන්න තියෙන හැකියාව දියුණු කරගන්න, එහෙම නැත්නම් වෙනත් දක්ෂතා දියුණු කරගන්න පුළුවන් වෙයි. ඒත් ඒ දේවල් ඕනෑවට වඩා කරන්න යන එකෙන් දරුවන්ට ලොකු පීඩනයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දරුවන්ව ඒ තැන්වලට අරන් යන්න වෙන නිසා දෙමාපියන්ටත් ඒක ලොකු පීඩනයක්. කාලය ඥානවන්තව පාවිච්චි කරන එක ගැන එෆීස 5:15, 16 දීලා තියෙන ප්‍රතිපත්තිය මේ කාරණයටත් අදාළ වෙනවා.

     හිතන්න දෙයක්: කලින් සංවිධානය කරපු ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙන නිසා දරුවාට දැන් හුස්මක් කටක් ගන්නවත් වෙලාවක් නැද්ද? එහෙනම් මොනවාද කරන්න පුළුවන්?

     බයිබල් ප්‍රතිපත්තිය: “වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න.”—ෆිලිප්පි 1:10.

a සල්ලිවලට ගන්න තියෙන ගොඩක් සෙල්ලම් බඩුවලින් දරුවන්ගේ නිර්මාණශීලී හැකියාව වැඩි වෙන්නේ නැහැ. ඒත් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් කාඩ්බෝඩ් පෙට්ටි, බිල්ඩිං බ්ලොක් වගේ දේවල්වලින් සෙල්ලම් කරද්දී දරුවන්ට හිතලා දේවල් කරන්න තියෙන හැකියාව වැඩි වෙනවා.

b මේ ලිපියේ “ඩිවයිස් පාවිච්චි කරන එක” කියලා කියන්නේ විනෝද වෙන්න ඒ දේවල් පාවිච්චි කරන එක ගැනයි. එහෙම නැතුව වීඩියෝ කොන්ෆරන්ස් ක්‍රමයට නෑදෑයෝ සහ යාළුවෝ එක්ක කතාබහ කරන එක, ඉස්කෝලේ වැඩ කරන එක සහ නමස්කාර කටයුතුවල හවුල් වෙන එක ගැන නෙවෙයි.