Skip to content

පවුලේ හැමෝටම මඟ පෙන්වීම් | සැමියාට සහ බිරිඳට

ඉවසීමෙන් වැඩ කරන්න පුළුවන් කොහොමද?

ඉවසීමෙන් වැඩ කරන්න පුළුවන් කොහොමද?

 “තනිකඩ කාලේ නම් ඉවසීමෙන් වැඩ කරන එක ඒ හැටි වැදගත් දෙයක් කියලා කෙනෙක්ට හිතෙන එකක් නෑ. හැබැයි පවුල් ජීවිතේ සාර්ථකව ගත කරන්න නම් ඉවසීම තියෙන්නම ඕනේ. මොකද පවුල් ජීවිතේදී සැමියාටත් බිරිඳටත් කේන්ති යන දේවල් හැම දවසකම වගේ වෙනවා.”—ජෝන්.

 ඔයා ඉවසීමෙන් වැඩ කරන්න ඕනෙ ඇයි?

  •   විවාහ වුණාට පස්සේ සැමියාගේ/බිරිඳගේ වැරදි, අඩුපාඩු වැඩියෙන් පෙනෙයි.

     “බැඳලා කාලයක් ගියාට පස්සේ අනිත් කෙනාගේ අඩුපාඩු වැඩි වැඩියෙන් දකියි. හැබැයි ඒ දේවල් ගැනම හිතහිත හිටියොත් හරිම ලේසියෙන් ඔයාගේ ඉවසීම නැති වෙන්න පුළුවන්.”—ජෙසීනා.

  •   ඉවසීමෙන් වැඩ කළේ නැත්නම් හිතන්නේ බලන්නේ නැතුව කතා කරන්න පෙලඹෙයි.

     “හිතට එන දේ ඉක්මනටම මං කියලා දානවා. හැබැයි සමහර වෙලාවට මට හිතිලා තියෙනවා අපරාදේ මං ඒක කිව්වේ කියලා. මට හිතෙන්නේ මං මීට වඩා ඉවසීමෙන් වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම කළොත් තමයි කටට එන එක ඔහේ කියන්නේ නැතුව ඒක කියන්න ඕනෙද නැද්ද කියලා තේරුම්ගන්න මට පුළුවන් වෙන්නේ.”—කාමන්.

     බයිබලයේ කියනවා “ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා බොහෝ ඉවසිලිවන්තය, කරුණාවන්තය” කියලා. (1 කොරින්ති 13:4) දෙන්නෙක් එකිනෙකාට ආදරේ නම් ඉවසීමෙන් වැඩ කරන එක එයාලට අමාරු නැහැ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි හැම වෙලාවෙම ඒක ඇත්තක් නෙවෙයි. කලින් සඳහන් කරපු ජෝන් මෙහෙම කියනවා. “ඉවසීම වර්ධනය කරගන්න එක ලේසි නැති වුණත් හරිම ඉක්මනින් අපේ ඉවසීම නැති වෙන්න පුළුවන්. දිගටම ඉවසීමෙන් වැඩ කරන්න නම් ලොකු වෑයමක් දරන්න වෙනවා.”

 ඉවසීම පෙන්වන්න පුළුවන් කොහොමද?

  •   බලාපොරොත්තු නොවුණු වෙලාවක හිත රිදෙන දෙයක් වෙද්දී.

     උදාහරණයක්: ඔයාගේ සැමියා/බිරිඳ ඔයාගේ හිත රිදෙන දෙයක් කියනවා. ඔයාටත් ඕනෙ හොඳවායින් දෙකක් කියන්න.

     බයිබල් ප්‍රතිපත්තිය: “අමනාප වීමට ඉක්මන් නොවන්න. මන්ද සිත තුළ අමනාපයක් ඇති කරගන්නේ මෝඩයන්ය.”—දේශනාකාරයා 7:9.

     ඉවසීම පෙන්වන්න පුළුවන් කොහොමද? ඉක්මන් වෙන්න එපා. ඔයාගේ සැමියා/බිරිඳ කියපු දෙයක් නිසා ඔයාගේ හිත රිදුණොත් එයා ඒ දේ කිව්වේ ඔයාගේ හිත රිද්දන්නමයි කියලා හිතන්න එපා. ඒ වෙනුවට ඇත්තටම එයා එහෙම කියන්න ඇත්තේ ඇයි කියලා හොඳට හිතන්න. එක පොතක මෙහෙම කියලා තියෙනවා. “හුඟක් වෙලාවට සැමියා/බිරිඳ කියන්නේ එක දෙයක් අපි හිතන්නේ වෙන දෙයක්. ඒක වැරදියට තේරුම්ගන්න නිසා තමයි අපිට කේන්ති යන්නේ.”—Fighting for Your Marriage.

     ඔයාගේ සැමියාට/බිරිඳට ඇත්තටම ඕන වුණේ ඔයාව තරහ ගස්සන්න වුණත් ඔයා ඉවසනවා නම් ඔයාට පුළුවන් ප්‍රශ්නය දුර දිග යන එක වළක්වගන්න. බයිබලයෙත් මෙහෙම කියලා තියෙනවා. “දර නැති විට ගින්න නිවී යන්නා සේම නින්දා කරන්නෙකු නැති විට විවාදයද නතර වෙයි.”—හිතෝපදේශ 26:20.

     “ඔයාගේ බිරිඳ හතුරෙක් කියලා හිතෙන අවස්ථා එන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ඇයි ඔයා එයාට ආදරේ කළේ කියලා මතක් කරගන්න. ඒ වෙලාවෙම එයාව සතුටු කරන්න පුළුවන් දෙයක් කරන්න උත්සාහ කරන්න.”—ඊතන්.

     හිතන්න දෙයක්:

    •  හිත රිදෙන දෙයක් සැමියා/බිරිඳ කිව්වොත් නැත්නම් කළොත් සාමාන්‍යයෙන් ඔයා මොනවාද කරන්නේ?

    •  ඒ වගේ වෙලාවක ඊට වඩා ඉවසීමෙන් කටයුතු කරන්න පුළුවන් කොහොමද?

  •   සැමියා/බිරිඳ ඔයා කැමති නැති දෙයක් ආයේ ආයේ කරද්දී.

     උදාහරණයක්: ඔයාගේ සැමියා/බිරිඳ කොයි වෙලෙත් පරක්කු වෙනවා. එයා එන කල් හුඟක් වෙලා බලන් ඉන්න වෙන නිසා ඔයාට හොඳටම කේන්ති යනවා.

     බයිබල් ප්‍රතිපත්තිය: “ඔවුන් ගැන ඉවසන්න. නිතරම ඔවුන්ට මුළු හදවතින්ම සමාව දෙන්න.”—කොලොස්සි 3:13.

     ඉවසීම පෙන්වන්න පුළුවන් කොහොමද? ඔයා ගැන හිතනවා වෙනුවට ඔයාගේ විවාහ බැඳීම ගැන හිතන්න. ‘වුණු දේ ගැන තරහා ගත්තොත් නැත්නම් බණින්න ගියොත් ඒක විවාහ බැඳීමට කොහොම බලපායිද’ කියලා හිතලා බලන්න. ඒ වගේම මේ දේත් මතක තියාගන්න. “අප සියලුදෙනා අතින් නොයෙක් අවස්ථාවලදී වැරදි සිදු වෙයි.” (යාකොබ් 3:2) ඒකෙන් පැහැදිලි වෙනවා ඔයාගේ පැත්තෙනුත් හදාගන්න ඕන දේවල් තියෙනවා කියලා.

     “මගේ යාළුවන් එක්ක ඉද්දී මං ඉවසීමෙන් වැඩ කරනවා. ඒත් මගේ මහත්තයා එක්ක වැඩ කරද්දී මගේ ඉවසීම හුඟක් අඩුයි. මං හිතන්නේ මං මහත්තයා එක්ක වැඩි කාලයක් ගත කරන නිසා වෙන්න ඇති එයාගේ වැරදි අඩුපාඩු මට ගොඩක් පේන්නේ. හැබැයි මං දන්නවා මං ඉවසන්නම ඕනෙ කියලා. මොකද මං ඉවසුවොත් තමයි මගේ හිතේ මගේ මහත්තයා ගැන ආදරයක් ගෞරවයක් තියෙනවා කියලා එයාට දැනෙන්නේ.”—නියා.

     හිතන්න දෙයක්:

    •  සැමියා/බිරිඳ අතින් වැරදි අඩුපාඩු වෙද්දී ඔයා ඉවසීමෙන් වැඩ කරනවාද?

    •  ඒ වගේ වෙලාවක ඉවසීමෙන් කටයුතු කරන්න ඔයාට පුළුවන් කොහොමද?