Skip to content

සමුළුවට ආපු අයව කටුනායක ගුවන්තොටුපොළේදී පිළිගන්න ලොකු කුඩා හැමෝම මඟ බලාගෙන ඉන්නවා.

2019 ජනවාරි 2
ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවේ පළමු වතාවට විශේෂ සමුළුවක්

ශ්‍රී ලංකාවේ පළමු වතාවට විශේෂ සමුළුවක්

2018 ජූලි 6-8 දක්වා දිනවල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේදී “ධෛර්යවත් වෙන්න” යන තේමාවෙන් විශේෂ සමුළුවක් පැවැත්තුවා. ඒ සමුළුව විශේෂ එකක් වෙන්න හේතු ගොඩක් තිබුණා. දේශන ඉදිරිපත් කරන්න පාලක මණ්ඩලයෙන් සාමාජිකයෙක් ආවා. රටවල් 7කින් ආපු විදේශීය සාක්ෂිකරුවන් 3,500ක් විතර ලංකාවේ සහෝදර සහෝදරියන් එක්ක ඒ සමුළුවට සහභාගි වුණා. මේ රටේ සාක්ෂිකරුවන් ඒ අයට ආගන්තුක සත්කාරය පිරිනැමුවෙත් හරිම විශිෂ්ට විදිහකට. සමුළුවට පැමිණි උපරිම සංඛ්‍යාව 14,121ක්. ශ්‍රී ලංකාවේ මේ දක්වා එක අවස්ථාවක බව්තීස්ම වුණ වැඩිම සංඛ්‍යාව බව්තීස්ම වුණෙත් ඒ සමුළුවේදී.

ඊළඟ අවුරුද්දේදී ශ්‍රී ලංකාවේ විශේෂ සමුළුවක් පවත්වනවා කියලා 2017 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ සියලුම සභාවලට දැනුම් දුන්න මොහොතේ ඉඳලා ලොකු කුඩා හැමෝම ඒකට සූදානම් වෙන්න පටන්ගත්තා. හැමෝටම කරන්න වැඩ කන්දරාවක් තිබුණා. විශේෂයෙන් සමුළුව පවත්වන ක්‍රීඩාංගණය අලුත්වැඩියා කරලා සුද්ද පවිත්‍ර කරලා හොඳ මට්ටමකට ගේන්න ගොඩක් මහන්සි වෙන්න වුණා. තීන්ත ගාන්න, කුණු කසළ ඉවත් කරන්න, කැඩුණු පුටු අලුත්වැඩියා කරන්න සහ ක්‍රීඩාංගණයට යන පාරේ තිබුණ වළවල් පුරවලා පාර හදන්න වගේ දේවල් ඒකට ඇතුළත් වුණා. සමුළුව පටන්ගන්න සති 3කට කලින් ඒ වැඩවලට කරගහන්න සාක්ෂිකරුවන් සිය ගණනක් ක්‍රීඩාංගණයට ආවා. සහෝදරයන් ඒ තරම් කෙටි කාලයක් තුළ කරපු වැඩ කන්දරාව ක්‍රීඩාංගණයේ නඩත්තු කිරීමේ අංශය කළා නම් ඒවා අවසන් කරන්න අවුරුදු 4ක්වත් යනවා කියලා එක ආරක්ෂක නිලධාරියෙක් පැවසුවා.

සමුළුවට අමතරව ආගන්තුක සහෝදර සහෝදරියන්ට ලංකාවේ විශේෂ තැන් සහ සංස්කෘතික අංග ඇතුළත් දේවල් නරඹන්න චාරිකා සැලසුම් කරලා තිබුණා. සවස් වරුවල සින්දු, සම්ප්‍රදායික නර්තන අංග ඇතුළත් වැඩසටහනුත් සැලසුම් කරලා තිබුණා. ඒ වැඩසටහන්වලට සාක්ෂිකාර දරුවන් ගීතිකා ගායනා කරන අංගයක්ද ඇතුළත් කරලා තිබුණා.

“මේ විශේෂ සමුළුව අපේ රටේ සිටින සහෝදර සහෝදරියන්ට ලැබුණ ලස්සන තෑග්ගක්. සමුළුවට ආපු විදේශීය සහෝදර සහෝදරියන්ව බලාගන්න අපිට ලැබුණ අවස්ථාව ගැන අපි ගොඩක් සතුටු වෙනවා. මේ සමුළුව සාර්ථක කරගන්න ස්වේච්ඡා සේවකයන් හුඟදෙනෙක් කැමැත්තෙන්ම අත දුන්නා. අපි ඒ අයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ හැම දෙයක්ම අපිට කරන්න පුළුවන් වුණේ සියලු ආකාර යහපත් දීමනා සහ තෑගිවල උල්පත වන අපේ යෙහෝවා දෙවි පියාණන් නිසයි. ඒ නිසා අපේ ප්‍රශංසාව ලැබෙන්නේ ඔහුටයි” කියලා ශාඛා කාර්යාලය වෙනුවෙන් අදහස් දක්වපු ඈෂ්ලි ෆර්ඩිනන්ඩ්ස් කිව්වා.—යාකොබ් 1:17.

 

සමුළු පරිශ්‍රය භාෂා අනුව කොටස් හතරකට වෙන් කරලා තිබුණා. මේ පින්තූරයේ තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවට වෙන් කරපු කොටස. ඉතිරි කොටස් සිංහල, දෙමළ සහ ශ්‍රී ලංකා සංඥා භාෂාව වෙනුවෙන් වෙන් කරලා තිබුණා.

පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සහෝදර ඇන්තනි මොරිස් වැඩසටහනේ දවස් තුනේදීම අවසාන දේශනය දුන්නා.

මෙතෙක් පැවැත්වූ සමුළුවල බව්තීස්ම වුණ වැඩිම සංඛ්‍යාව වන 273දෙනෙක් මේ සමුළුවේදී බව්තීස්ම වුණා.

ශාඛා කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වන්න සහෝදරයන් සැලසුම් කළා. වාර්තාකරුවන් 40කට වඩා වැඩි ගණනක් ආවා. අපේ කාර්යාල සංකීර්ණ නරඹන්නත් එයාලට අවස්ථාවක් ලැබුණා.

සමුළුවේ මාධ්‍ය ප්‍රකාශකයෙක් එක්ක ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති ආයතන දෙකක නියෝජිතයන් කතා කරයි.

2018 ජනවාරි මාසයේදී සමුළුවේ වැඩකටයුතු සැලසුම් කරන්න පවත්වපු පුහුණු වීමේ වැඩසටහනකට සහෝදර සහෝදරියන් 700කට වඩා වැඩි පිරිසක් සහභාගි වුණා.

ස්වේච්ඡා සේවකයන් සමුළු පරිශ්‍රයේ තිබුණ කැඩුණු පුටු අලුත්වැඩියා කළා.

කොළඹ අවට තියෙන විවිධ නමස්කාර මධ්‍යස්ථානවල එකිනෙකාව දැන හදුනා ගැනීම සඳහා සුහද හමුවන් පැවැත්වුවා. ඒ නිසා විදේශ සහෝදර සහෝදරියන්ට ලංකාවේ සහෝදර සහෝදරියන් එක්ක ආශ්‍රය කරන්න අවස්ථාවක් ලැබුණා.

මේ දෙමළ සංස්කෘතික නැටුම වගේ විවිධ දේශීය නැටුම් ගැයුම් ප්‍රදර්ශනය කළා.

සාක්ෂිකාර දරුවන් “යෙහෝවා දෙවිගේ ආයාචනය, ‘මාගේ පුත්‍රය, ප්‍රඥාවන්ත වෙන්න’” කියන ගීතිකාව ගායනා කළා.

තේකොළ නිෂ්පාදනය කරන විදිහ දැනගැනීමෙන් විදේශීය සහෝදර සහෝදරියන් සතුටු වුණා.

සමුළුව අවසානයේදී විදේශීය සහෝදර සහෝදරියන් ලංකාවේ සිටින සහෝදර සහෝදරියන්ට මේ විදිහට තම ආදරය ප්‍රකාශ කළා.