Skip to content

ඩැෆ්නි ජේන් සෙවයේ හවුල් වෙමින්

2020 අප්‍රියෙල් 14
පිලිපීනය

2020 යේසුස්ගේ මරණය සිහි කිරීම

පිලිපීනයේ පුරෝගාමි සේවය කරන යෞවනියක් කරපු ආරාධනාව නිසා සිහි කිරීමට දහස් ගාණක් සහභාගි වෙයි

2020 යේසුස්ගේ මරණය සිහි කිරීම

පිලිපීනයේ ඩාවාඕ නගරයේ සාක්ෂිකරුවන්ගේ එක සභාවක් පවත්වපු සිහි කිරීමට සාක්ෂිකරුවන් නොවන 31,000ට වැඩිදෙනෙක් අන්තර්ජාලය සහ දුරකථනය හරහා සම්බන්ධ වුණා. රජයෙන් දාලා තිබුණු තහංචි නිසා එයාලට නමස්කාර මධ්‍යස්ථානයේ රැස් වෙන්න බැරි වුණා. ඒ නිසා එයාලා සිහි කිරීම පැවැත්තුවේ වීඩියෝ කොන්ෆරන්ස් මාර්ගයෙන්. ඒ අවස්ථාවට දහස් ගාණක් සම්බන්ධ වුණේ පුරෝගාමි සේවය කරන එක යෞවනියක් කරපු ආරාධනාවක් නිසයි.

ඒ යෞවනියගේ නම ඩැෆ්නි ජේන්. එයා වයස 17ක ස්ථාවර පුරෝගාමි සේවය කරන සහෝදරියක්. එයා අවුරුදු කීපයක් තිස්සේ ග්ලෝකෝමාව කියන බරපතළ අක්ෂි රෝගයෙන් පෙළෙන කෙනෙක්. ඒ රෝගය නිසා එයාගේ ඇස් පෙනීම එන්න එන්නම දුර්වල වෙනවා. ඩැෆ්නි එයාට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙකුට විශේෂ බයිබල් දේශනයට සහ සිහි කිරීමට වීඩියෝ කොන්ෆරන්ස් හරහා සහභාගි වෙන්න කියලා ආරාධනා කළා.

වෛද්‍යවරයා අහපු ප්‍රශ්නවලට ඩැෆ්නි බයිබලයෙන් උත්තර දුන්න විදිහ ගැනත් ඒ ප්‍රශ්න ගැන කතා කරලා තියෙන ලිපි jw.org වෙබ් අඩවියෙන් පෙන්නපු විදිහ ගැනත් පැහැදීමක් ඇති වෙලා එයා ඩැෆ්නිගේ ආරාධනය පිළිගත්තා. අප්‍රියෙල් 5වෙනි ඉරිදා ඒ වෛද්‍යවරයා වගේම එයත් එක්ක එකට වැඩ කරන තවත් 12දෙනෙක් විශේෂ බයිබල් දේශනය අහන්න වීඩියෝ කොන්ෆරන්ස් හරහා සම්බන්ධ වෙලා හිටියා. ඒ 12දෙනාත් තවත් කීපදෙනෙක්ට ආරාධනා කරලා තිබුණා. අන්තිමට 128දෙනෙක් විශේෂ බයිබල් දේශනයට සම්බන්ධ වුණා.

දේශනයෙන් පස්සේ එක වෛද්‍යවරයෙක් කිව්වා ඊට කලින් එයා සාක්ෂිකරුවන්ට කොහොමටවත් කැමති නැහැ කියලා. එයා අපේ දේශනා සේවයටත් හරිම විරුද්ධයි. ඒත් විශේෂ බයිබල් දේශනය ඇහුවාට පස්සේ එයා මෙහෙම කිව්වා. “දවසක් මම ඔයාලගේ සහෝදරියකට හොඳටම බැන්නා. මං කියපු දේවල් නිසා එයාට ලැජ්ජා හිතෙන්න ඇති. මං කරපු දේට සමාවෙන්න. බයිබල් දේශනයට මට ආරාධනා කරපු එකට ගොඩක් ස්තූතියි. ඔයාලගේ සේවය හරිම වටිනවා. දිගටම ඒක කරගෙන යන්න.”

ඩැෆ්නිගේ වෛද්‍යවරයා සිහි කිරීමටත් සහභාගි වුණා. එයත් එක්ක වැඩ කරන තවත් හුඟදෙනෙකුටත් ඒකට සහභාගි වෙන්න කියලා එයා ආරාධනා කළා. සභාවේ වීඩියෝ කොන්ෆරන්ස් එකට ඒ තරම් විශාල පිරිසක් සම්බන්ධ කරගන්න බැරි නිසා වෛද්‍යවරයා ඒ හැමෝවම සම්බන්ධ කරගන්න පුළුවන් වෙන විදිහට දේවල් සැලසුම් කළා. එදා සිහි කිරීමට දොස්තරවරුන්, හෙදියන්, පොලිස් නිලධාරීන් සහ රජයේ උසස් බලධාරීන් විශාල පිරිසක් සම්බන්ධ වුණා. ඒ විදිහට සිහි කිරීමට වීඩියෝ සහ ඕඩියෝ මාර්ගයෙන් 31,000ට වැඩිදෙනෙක් සම්බන්ධ වෙලා හිටියා!

ඒකට සහභාගි වුණ එක වෛද්‍යවරයෙක් ඩැෆ්නිටයි, අනිත් සහෝදරයන්ටයි එයාට ආරාධනා කරපු එකට ස්තූති කරලා මෙහෙම කිව්වා. “අපි දැනන් හිටියේ නෑනේ සාක්ෂිකරුවන් ඉන්ටර්නෙට් එකෙනුත් දේශනා කරනවා කියලා. ඔයාලා තාක්ෂණය පාවිච්චි කරන්නේ ගොඩක් හොඳ දේකට.”

තවත් කෙනෙක් කිව්වේ මෙහෙමයි. “අපි එක්ක හිටපු දොස්තරලා, නර්ස්ලා හුඟදෙනෙක්ට පුළුවන් වුණා ඒ දේශනය අහන්න. අපි බයිබල් දේශනයක් ඇහුවේ සෑහෙන කාලයකට පස්සේ. වීඩියෝ කොන්ෆරන්ස් එකකින් ඒ වගේ දෙයක් ඇහුවේ පළවෙනි වතාවට. සාක්ෂිකරුවන් මේ විදිහටත් එකතු වෙලා දෙවියන්ට නමස්කාර කරනවා කියලා අපි දන්නේ නෑනේ! ඔයාලා දිගටම මේ විදිහට කට්ටියව සම්බන්ධ කරගන්නවා නම් කොච්චර හොඳද! විශේෂයෙන්ම මේ වගේ අමාරු කාලයකදී ඒක ගොඩක් වටිනවා.”

විශේෂ බයිබල් දේශනයේ සහ සිහි කිරීමේ දේශනයේ තොරතුරු සමහර අයගේ හිතට තදින්ම කාවැදුණා. එක් කෙනෙක් එයාට දැනුණ විදිහ ගැන මෙහෙම කිව්වා. “බයිබලේ තොරතුරු තියෙන දේශනයක් අහලා එදා තමයි මුල්ම වතාවට මගේ ඇස් දෙකට කඳුළු ආවේ. ඩැෆ්නි ජේන්, ඔයාට ගොඩක් ස්තූතියි! ඔයා ඔයාගේ දොස්තරට ආරාධනා කරපු නිසයි අපිටත් ඒ දේශනය අහලා ලොකු සහනයක් ලබන්න පුළුවන් වුණේ. දැන් මට විශ්වාසයි දෙවි කෙනෙක් ඉන්නවා කියලා. ඒක තේරුම්ගන්න මට උදව් කළාට ගොඩක් ස්තූතියි.”

යෙහෝවා දෙවියන් එයාට උදව් කරපු විදිහ දැක්කාම ඩැෆ්නි ගොඩක් දිරිගැන්වුණා. එයාගේ පෙනීම එන්න එන්නම දුර්වල වුණත් වෛරසය නිසා මොන තරම් තහංචි මැද හිටියත් දේශනා කරන එක කවදාවත් අත්හරින්නේ නැහැ කියලා එයා හිතාගත්තා. ඩැෆ්නිගේ අද්දැකීම අපිට මතක් කරනවා අපි ‘අපේ උත්සාහය අත් නොහැර දිගටම යහපත් දේ කරන්න ඕනෙ’ කියලා. මොකද ‘විඩාවට පත් වී හෙම්බත් වන්නේ නැත්නම් නියමිත කාලයේදී ප්‍රතිඵල නෙළාගන්න’ අපිටත් පුළුවන් වෙනවා.—ගලාති 6:9.