Skip to content

Skip to secondary menu

පටුනට යන්න

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

සිංහල

පිබිදෙව්!  |  2014 මැයි 

මායාකාරියන්ව දඩයම් කළ යුරෝපය

මායාකාරියන්ව දඩයම් කළ යුරෝපය

මීට ශතවර්ෂ ගණනාවකට පෙර ප්‍රංශය, ජර්මනිය, උතුරු ඉතාලිය, ස්විට්සර්ලන්තය, බෙල්ජියම, ලක්සම්බර්ග් සහ නෙදර්ලන්තය වැනි රටවල මායාකාරියන්ව මරා දැමීමට වැඩ පිළිවෙලක් දියත් කළා. “මේ නිසා යුරෝපයේ සහ එහි යටත් විජිතයන්ව පැවති රටවල්වල වැසියන් දහස් ගණනකගේ ජීවිත අහිමි වුණා. ඒ වගේම තවත් මිලියන ගණනක් වධ හිංසාවලට, වෛරයට, බියගැන්වීම්වලට සහ තාඩන පීඩනවලට ලක් වුණා” කියා එක් පොතක සඳහන් වුණා. * (Witch Hunts in the Western World) මෙවැනි උමතු ක්‍රියාවකට මුල පිරුවේ කුමක්ද?

මායාකාරියන්ට විරුද්ධව ලියවුණු පොතක්

13වෙනි සියවසේදී බිහි වුණු මිථ්‍යාදෘෂ්ටිකයන් නැති කිරීමේ කතෝලික අධිකරණයේ, ප්‍රධාන කාර්ය වුණේ “පල්ලිය අත්හැර ගිය අයව නැවත ගෙන්වා ගැනීම සහ සාමාජිකයන්ව රැක ගැනීමයි” කියා එක් පොතක සඳහන් වුණා. (Der Hexenwahn) මායාකාරියන්ව විනාශ කිරීමේදීත් මූලිකත්වය ගෙන කටයුතු කළ එම අධිකරණය ක්‍රියා කළේ කතෝලික පල්ලියේ පොලීසිය ලෙසයි.

VIIIවන ඉනසන්ට් පාප්වරයා මායාකාරියන්ව හෙළා දකිමින් 1484 දෙසැම්බර් 5වෙනිදා ප්‍රකාශයක් නිකුත් කළා. ඒ වගේම ඔහු මේ ගැන සොයා බැලීමට යාකොබ් ස්ප්‍රෙන්ග සහ හෙයින්රික් ක්‍රාම යන පුද්ගලයන් දෙදෙනාවත් පත් කළා. ඔවුන් මායාකාරීන්ගේ ක්‍රියාවලට විරුද්ධව පොතක් ලිව්වා. (The Hammer of Witches) කතෝලික සහ රෙපරමාදු භක්තිකයන් මායාකාරියන්ට විරුද්ධව ක්‍රියා කරන්න පදනමක් හැටියට යොදාගත්තේ එම පොතයි. එහි මායාකාරියන් ගැන නොයෙකුත් මිථ්‍යා කතා ඇතුළත් වුණා. ඒ වගේම මායාකාරියන්ව වැරදිකරුවන් කියා ඔප්පු කිරීමට තිබෙන ආගමික හා නීතික තොරතුරුත් හඳුනාගන්න ආකාරයත් ඔවුන් විනාශ කරන ආකාරයත් එහි සඳහන් වුණා. ඒ නිසා “මෙතෙක් ලියවුණු පොත් අතරින් දුෂ්ටම අදහස් ඇතුළත් වූ පොත”  හැටියට එම පොත හඳුන්වා තිබීම පුදුමයක් නොවෙයි.

මායාකාරියන් ගැන ලියවුණු එම පොත “මෙතෙක් ලියවුණු පොත් අතරින් දුෂ්ටම අදහස් ඇතුළත් වූ පොතයි”

මායාකාරියක් ලෙසට චෝදනා ලැබූ කෙනෙකුට විරුද්ධව “නඩු විභාගයක් පැවැත්තුවේ තමන් මායාකාරියක් කියා බලහත්කාරයෙන් ඇය ලවා කියවා ගැනීමටයි” කියා තවත් පොතක සඳහන් වෙනවා. (Hexen und Hexenprozesse) ඔවුන්ව වැරදිකරුවන් කිරීමට සාක්ෂි අවශ්‍ය වුණේ නැහැ.

මායාකාරියන්ගේ ක්‍රියාවලට විරුද්ධව ලියවුණු පොත (The Hammer of Witches) සහ පාප්වරයාගේ ප්‍රකාශය නිසා යුරෝපය පුරා මායාකාරියන්ව සෙවීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වුණා. ඒ වන විට සොයාගෙන තිබූ මුද්‍රණ ශිල්පය යොදාගෙන ඇමරිකාව දක්වාත් මේ ගැන දැනුම් දීමට පියවර ගත්තා.

පීඩා විඳින්න වුණේ කාටද?

දුප්පත් පොහොසත්, ගැහැනු පිරිමි භේදයක් නැතුව පොදුවේ හැම කෙනෙක්ම වගේ පීඩා වින්දා. නමුත් වැඩියෙන්ම පීඩා වින්දේ කාන්තාවන්. ඒ අයගෙන් බොහෝදෙනෙක් කාගෙවත් පිළිසරණක් නැති වැන්දඹුවන්. ඒ වගේම මහලු ස්ත්‍රීන්, ඖෂධීය පැළෑටි යොදාගෙන වෙදකම් කළ ස්ත්‍රීන් සහ දුප්පත් අය ඊට ඇතුළත් වුණා.

සෑම නරක දෙයක් සඳහාම වග කියන්න සිදු වුණේ මායාකාරියන් කියා සැක කළ අයටයි. වගා පාළු වුණත් එළදෙනකගෙන් කිරි නොලැබුණත් පුරුෂයෙක් ලිංගිකව බෙලහීන කෙනෙක් වුණත් ස්ත්‍රියක් වඳ වුණත් චෝදනා කළේ ඔවුන්ටයි. “මායාකාරියන් හිම වර්ෂාවකින් හෝ ගොළුබෙල්ලන්, දළඹුවන් වැනි කෘමී වසංගතවලින් ගස් වැල් විනාශ කළා” කියා එක් සඟරාවකත් සඳහන් වුණා.Damals.

මායාකාරියන් බරින් අඩුයි කියා හෝ කිසිදු බරක් නැහැයි කියා සිතූ නිසා එසේ සැක කළ අයගේ බර කිරා බැලුවා

මායාකාරියන්ව හඳුනාගත්තේ කොහොමද? මායාකාරියන් සාමාන්‍ය මිනිසුන්ට වඩා බරින් අඩුයි කියා හෝ කිසිදු බරක් නැහැයි කියා මතයක් තිබුණා. ඒ නිසා එසේ සැක කළ අයගේ බර කිරනු ලැබුවා. ඒ වගේම තවත් අයව ගැටගසා ශුද්ධ වතුර කියා හැඳින්වූ ජලය පිරවූ තටාකයකට දැමුවා. ඔවුන් වතුරේ ගිලුණා නම් එළියට ගෙන නිදහස් කළ අතර පා වුණා නම් මායාකාරියක් කියා චෝදනා කර මරා දැමුවා.

මායාකාරියන්ව සෙවීමට කළ තවත් පරීක්ෂණයක් ගැන එක් පොතක මෙසේ සඳහන් වුණා. “මායාකාරියන්ගේ ශරීරයේ යක්ෂයා දුන් ලකුණක් ඇති බවට විශ්වාසයක් තිබුණා. ඒ නිසා ප්‍රසිද්ධියේ එසේ සැක කළ අයගේ ශරීරයේ තිබූ හැම කෙස් ගහක්ම කපා දමා ලකුණක් තිබෙනවාද කියා සෝදිසි කළා.” (Witch Hunts in the Western World) ඔවුන්ගේ ශරීරයේ උපන් ලපයක්, කැළලක් හෝ ඉන්නෙක් වැනි දෙයක් තිබුණා නම් එයට කටුවකින් ඇණ බැලුවා. එවිට ලේ ගැලුවේ නැත්නම් හෝ වේදනාවක් දැනුණේ නැත්නම් එය යක්ෂයාගෙන් ලැබුණ ලකුණ කියා සැලකුවා.

මායාකාරියන්ට විරුද්ධව දැඩිව ක්‍රියා කළේ කතෝලික සහ රෙපරමාදු ආගම් ඇදහූ රටවල්වල අයයි. සමහර පළාත්වල කතෝලිකයන්ට වඩා දරුණු ලෙස කටයුතු කළේ රෙපරමාදු භක්තිකයනුයි. නමුත් කාලයකට පසු ඔවුන් මේ කෲර ක්‍රියාව ගැන මානුෂික හැඟීමෙන් බලන්න පටන්ගත්තා. චෝදනා ලැබූ කාන්තාවන්ව පුලුස්සා දමන්න පෙර ඔවුන් සමඟ කතා කළ ෆෙඩ්‍රික් ෂ්පේ නමැති පූජකවරයා 1631දී පැවසුවේ ඔහුගේ දැනුමට අනුව එම කාන්තාවන් අත කිසිම වරදක් නැහැ කියායි. මේ අතර මිනිසුන් හදිසියේ අසනීප වන්නේ යම් රෝගී තත්වයන් නිසා මිස මායාකාරියන්ගේ බලපෑම් නිසා නොවෙයි කියා වෛද්‍යවරුන් සොයාගත්තා. ඒ නිසා 1700 ගණන්වලදී මායාකාරියන්ව දඩයම් කිරීම මුළුමනින්ම වගේ නතර වුණා.

එවැනි කෲර සිදුවීම්වලින් අපට කියා දෙන පාඩම කුමක්ද? එය නම් යේසුස්ගේ සැබෑ ඉගැන්වීම් පිළිපදිනවා වෙනුවට බොරු ඉගැන්වීම් සහ මිථ්‍යා විශ්වාසයන් අනුගමනය කිරීමෙන් හානියක් මිස යහපතක් සිදු නොවන බවයි. මිථ්‍යා අදහස් පසුපස යන එවැනි අය නිසා ‘සත්‍ය මාර්ගයට විරුද්ධව නින්දාසහගත කතා පැතිරෙන’ බවත් බයිබලයේ අනතුරු අඟවා තිබුණා.2 පේතෘස් 2:1, 2.

^ 2 ඡේ. යුරෝපයේ යටත් විජිතවලට ඇමරිකානු රටවල්ද අයිති වුණා.